4. 1. 1. 8.
8. චතුවෙසාරජ්ජ සූත්රය
8. “මහණෙනි, යම් විශාරද බවකින් යුක්ත තථාගතයන් වහන්සේ උත්තම ස්ථානය ප්රතිඥා කෙරෙත්ද, පිරිසෙහි සිංහනාද කරයිද, ධර්ම චක්රය පවත්වයිද, තථාගතයන් වහන්සේගේ මේ විශාරද බැව් සතරක් වෙති. කවර සතරක්ද යත්?
“සම්යක් සම්බුද්ධභාවය ප්රතිඥා කරන්නාවූ මට, ‘නුඹ වහන්සේ විසින් මේ ධර්මයෝ අවබෝධ නොකරණ ලදැ’ යි ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්රමණයෙක් හෝ, බ්රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව පෙරලා චෝදනා කරන්නේද, මහණෙනි, එබඳු පුද්ගලයෙකු නොදකිමි. මහණෙනි, එබඳු කෙනෙකු නොදක්නාවූ මම, ක්ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.
“තොපට ක්ෂීණාශ්රව බව ප්රතිඥා කරන්නාවූ මට, ‘මේ ආශ්රවයෝ ක්ෂය නොවූහ’ ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්රමණයෙක් හෝ, බ්රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව චෝදනා කරන්නේද, මහණෙනි, එබඳු පුද්ගලයෙකු නොදකිමි. මහණෙනි, එබඳු කෙනෙකු නොදක්නාවූ මම, ක්ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.
“තොපට මාර්ග ඵලයන්ට අන්තරායකරවූ ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද, ‘ඔවුන් සේවනය කරන්නාහට අන්තරායකර නොවේය’ යි මට ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්රමණයෙක් හෝ, බ්රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව පෙරලා චෝදනා කරන්නේද, මහණෙනි, එබන්දෙකු නොදකිමි. මහණෙනි, එබන්දෙකු නොදක්නාවූ මම, ක්ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.
“තොපට තොපට යමක් උදෙසා ධර්මය දේශනා කරණ ලද්දේද, ‘ඒ ධර්මය ඒ අනුව වැඩ කරන්නහුට මනාකොට දුක් කෙළවර කිරීම පිණිස නොපවතීයයි මේ කරුණෙහිලා මට ඒකාන්තයෙන් ශ්රමණයෙක් හෝ, බ්රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව චෝදනා කරන්නේද, මහණෙනි, එබන්දකු නොදකිමි. මහණෙනි, එබන්දකු නොදක්නාවූ මම, ක්ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.
“මහණෙනි, යම් විශාරද බවකින් යුක්ත තථාගත තෙම උත්තම ස්ථානය ප්රතිඥා කෙරෙයිද, පිරිසෙහි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේ ඒ සතර විශාරද භාවයෝ වෙත්.
“සකස් කරණ ලද යම්කිසි බොහෝ වාද පථයෝ වෙත්ද, යම් ඒ වාද පථ ඇසුරුකළ ශ්රමණ බ්රාහ්මණයෝ වෙත්ද, ඔවුහු විශාරදවූ, වාදපථ ඉක්මවූ, තථාගතයන් වහන්සේ කරා පැමිණ නැතිවෙත්.
යමෙක් ඒ සියලු වාද පථයන් මැඩ සියලුදෙනාට හිත කැමැත්තෙන් ධර්ම චක්රය පැවැත්වූයේද, සත්ත්වයෝ භවයාගේ පරතෙරට ගිය, දිව්ය මනුෂ්යයන්ට ශ්රේෂ්ඨවූ, එබඳුවූ බුදුරජානන් වහන්සේට නමස්කාර කරත්.”
4. 1. 1. 9.
9. තණ්හුප්පාද සූත්රය
9. “මහණෙනි, භික්ෂුවට තණ්හාව උපදිනුයේ යම් තැනෙක්හි උපදීද, මේ තෘෂ්ණාව උපදින කරුණු සතරකි. කිනම් කරුණු සතරක්ද යත්?
“මහණෙනි, භික්ෂුවට තෘෂ්ණාව උපදිනුයේ චීවර හේතුකොටගෙන හෝ උපදී. මහණෙනි, භික්ෂුවට තෘෂ්ණාව උපදිනුයේ පිණ්ඩපාතය හේතුකොටගෙන හෝ උපදී. මහණෙනි, භික්ෂුවට තෘෂ්ණාව උපදිනුයේ සේනාසන හේතුකොටගෙන හෝ උපදී. මහණෙනි, භික්ෂුවට තෘෂ්ණාව උපදිනුයේ ගිලන්පස හේතුකොටගෙන හෝ උපදී.
“මහණෙනි, භික්ෂුවට තෘෂ්ණාව උපදිනුයේ යම් තැනෙක්හි උපදීද, මේ තෘෂ්ණාව උපදවන කරුණු සතරයි.
“තෘෂ්ණාව දෙවෙනිකොට ඇති පුරුෂතෙම දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ, සංසාරය මේ ආත්මභාවයට හෝ අනාගතතාත්මභාවය යන සංසාරය නොඉක්මවත්.
තෘෂ්ණාව දුක්ඛයාගේ හේතුවයයි මේ ආදීනවය දැක මහණතෙම පහවූ තෘෂ්ණා ඇත්තේ, තණ්හාවෙන් නොගන්නේ, සිහි ඇත්තේ පිරිනිවෙන්නේය.”
4. 1. 1. 10.
10. යොග විසංයොග සූත්රය
10. “මහණෙනි, මේ (සසරෙහි බඳින අර්ත්ථයෙන්) යෝගයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්? “කාමයෝගය, භවයෝගය, දිට්ඨියෝගය, අවිජ්ජායෝගය යන සතර දෙනයි.
“මහණෙනි, කාමයෝගය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් කාමයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දෝසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදනීද, කාමයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දෝසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදන්නාවූ ඔහුට කාමයන්හි යම් කාමරාගයක් ඇද්ද, කාම සතුටක් ඇද්ද, කාම ස්නේහයක් ඇද්ද, කාම මූර්ඡාවක් ඇද්ද, කාම පිපාසයක් ඇද්ද, කාම දැවිල්ලක් ඇද්ද, කාමයට බැස ගැන්මක් ඇද්ද, කාම තෘෂ්ණාවක් ඇද්ද, එය උපදී. මහණෙනි, මේ කාමයොගයයි කියනු ලැබේ. කාමයොගය මෙසේයි.