3. 3. 3. 8. දුතිය අනුරුද්‍ධ සූත්‍රය
28. “ඉක්බිති ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිර තෙමේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හා සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු කථා කොට නිමවා එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හිඳගත් ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළේය.
“ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මම මිනිසත් බව ඉක්මවූ පිරසිදුවූ දිවැසින් ලෝක දහසක් බලමි. මා විසින් පටන් ගන්නාද වීර්‍ය්‍යය නොහැකුළුනේය. සිහිය එළඹ සිටියාය. මුළා නොවූවාය. කය සංසිඳුනේය. දාහ රහිත වූයේය. සිත එකඟව සමාධියට පැමිණියේය. එවිටද මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන ආශ්‍රවයන්ගෙන් නොමිදේය” යි කීය.
[සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ:]
“ඇවැත් අනුරුද්ධය, තොපට ‘මම මෙසේ මිනිසත් බව ඉක්මවූ, පිරිසිදු දිවැසින් දහසක් ලෝකයන් බලමි’ යන යමක් ඇද්ද, මෙය තොපගේ මානය වෙයි.
“අනුරුද්ධය, තොපට, මෙසේ මා විසින් වීර්‍ය්‍යය පටන් ගන්නා ලදී. වීර්‍ය්‍යය නොහැකුළුණේය. නුමුළාවූ සිහිය එළඹ සිටියාය. කය සංසිඳුණේය. දාහ රහිත විය. සිත එකඟ විය. සමාධියට පැමිණියේය. යන යමක් වේද, මෙය තොපගේ උද්ධච්චය වෙයි.
“අනුරුද්ධය, තොපට මෙසේ එවිටද මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් නොමිදේය යන යමක් වේද, මෙය තොපගේ විචිකිච්ඡාව වෙයි.
“ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ මේ ධර්‍ම තුන හැර දමා මේ ධර්‍ම තුන මෙනෙහි නොකොට නිර්‍වාණ ධාතුවට හිත එළවන්නේ නම් මැනවි” යයි වදාළේය.
“එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ තනිව සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුල පුත්‍රයෝ යම් අර්‍ථයක් පිණිස ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ අනුත්තර ධර්‍මය මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් දැන, ඊට පැමිණ වාසය කෙළේය. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු ආත්ම භාවයක් නැතැයි දැන ගත්තේය. අනුරුද්ධ තෙමේ රහතුන් අතුරෙන් එක්තරා රහත් පුද්ගලයෙක් විය.”
3. 3. 1. 9. පටිච්ඡන්නවහන සූත්‍රය
29. “මහණෙනි, වසන ලද්දාවූ තිදෙනෙකුන් දරත්. විවෘත කරන ලදුව නොදරත්.
කවර තුනක්ද?
“මහණෙනි, මාගම (ස්ත්‍රිය) වසන ලද්දේම දරයි. විවෘතකෙළේ නොදරයි. මහණෙනි, බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර වසන ලද්දාහුම දරත්, විවෘතකොට නොදරත්. මහණෙනි, මිත්‍යාදෘෂ්ටිය වසන ලදුවම දරයි. විවෘත කරන ලදුව නොදරයි.
“මහණෙනි, මේ කරුණු තුන වසන ලදුව දරත්. විවෘතකොට නොදරත්.
“මහණෙනි, තිදෙනෙක් විවෘත කරන ලද්දාහුම බබලත්. වසන ලද්දාහුම නොබබලත්.
කවර තිදෙනෙක්ද යත්?
“මහණෙනි, සඳමඬල විවෘතකරන ලද්දේම බබලයි. වසන ලද්දේ නොබබලයි. මහණෙනි, හිරුමඬල විවෘතකරන ලද්දේම බබලයි. වසන ලද්දේ නොබබලයි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍මය විවෘතකරන ලද්දේම බබලයි. වසන ලද්දේ නොබබලයි.
“මහණෙනි, මේ තිදෙන විවෘතකරන ලද්දාහුම බබලත්. වසන ලද්දාහු නොබබලත්.” යයි වදාළ සේක..
3. 3. 3. 10. ලෙඛූපම සූත්‍රය
30. “මහණෙනි, ලෝකයෙහි පුද්ගලයෝ තිදෙනෙක් වෙත්.
කවර තිදෙනෙක්ද? ගලේ ඇඳි ඉර වැනි පුද්ගල තෙමේද, පොළොවේ ඇඳි ඉර වැනි පුද්ගල තෙමේද, දියේ ඇඳි ඉර වැනි පුද්ගල තෙමේද, වෙයි.
“මහණෙනි, ගලේ ඇඳි ඉර වැනි පුද්ගලයා නම් කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයි. හෙතෙම ඒ ක්‍රෝධය බොහෝ කාලයක් පවත්වයි. මහණෙනි, යම්සේ ගලේ ඇඳි ඉර වාතයෙන් හෝ ජලයෙන් හෝ වහා නොමැකෙන්නේද, බොහෝ කලක් පවත්නේද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයිද, හෙතෙම ඒ ක්‍රෝධය බොහෝ කල් පවත්වයිද, මහණෙනි, මෙතෙම ගලේ ඇඳි ඉර වැනි පුද්ගලයායයි කියමි.
“මහණෙනි, පොළොවේ ඇඳි ඉර වැනි පුද්ගලයා නම් කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයි. හෙතෙම ඒ ක්‍රෝධය බොහෝ කලක් නොපවත්වයි. මහණෙනි, යම්සේ පොළොවේ ඇඳි ඉර වාතයෙන් හෝ ජලයෙන් හෝ වහා මැකේද, බොහෝ කල් නොපවතියිද, මහණෙනි, එසේම ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයිද, හෙතෙම ඒ ක්‍රෝධය බොහෝ කල් නොපවත්වයිද, මහණෙනි, මෙතෙම පොළොවේ ඇඳි ඉර වැනි පුද්ගලයායයි කියනු ලැබේ.