3. 3. 1. 9. පටිච්ඡන්නවහන සූත්‍රය
29. “මහණෙනි, වසන ලද්දාවූ තිදෙනෙකුන් දරත්. විවෘත කරන ලදුව නොදරත්.
කවර තුනක්ද?
“මහණෙනි, මාගම (ස්ත්‍රිය) වසන ලද්දේම දරයි. විවෘතකෙළේ නොදරයි. මහණෙනි, බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර වසන ලද්දාහුම දරත්, විවෘතකොට නොදරත්. මහණෙනි, මිත්‍යාදෘෂ්ටිය වසන ලදුවම දරයි. විවෘත කරන ලදුව නොදරයි.
“මහණෙනි, මේ කරුණු තුන වසන ලදුව දරත්. විවෘතකොට නොදරත්.
“මහණෙනි, තිදෙනෙක් විවෘත කරන ලද්දාහුම බබලත්. වසන ලද්දාහුම නොබබලත්.
කවර තිදෙනෙක්ද යත්?
“මහණෙනි, සඳමඬල විවෘතකරන ලද්දේම බබලයි. වසන ලද්දේ නොබබලයි. මහණෙනි, හිරුමඬල විවෘතකරන ලද්දේම බබලයි. වසන ලද්දේ නොබබලයි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍මය විවෘතකරන ලද්දේම බබලයි. වසන ලද්දේ නොබබලයි.
“මහණෙනි, මේ තිදෙන විවෘතකරන ලද්දාහුම බබලත්. වසන ලද්දාහු නොබබලත්.” යයි වදාළ සේක..
3. 3. 3. 10. ලෙඛූපම සූත්‍රය
30. “මහණෙනි, ලෝකයෙහි පුද්ගලයෝ තිදෙනෙක් වෙත්.
කවර තිදෙනෙක්ද? ගලේ ඇඳි ඉර වැනි පුද්ගල තෙමේද, පොළොවේ ඇඳි ඉර වැනි පුද්ගල තෙමේද, දියේ ඇඳි ඉර වැනි පුද්ගල තෙමේද, වෙයි.
“මහණෙනි, ගලේ ඇඳි ඉර වැනි පුද්ගලයා නම් කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයි. හෙතෙම ඒ ක්‍රෝධය බොහෝ කාලයක් පවත්වයි. මහණෙනි, යම්සේ ගලේ ඇඳි ඉර වාතයෙන් හෝ ජලයෙන් හෝ වහා නොමැකෙන්නේද, බොහෝ කලක් පවත්නේද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයිද, හෙතෙම ඒ ක්‍රෝධය බොහෝ කල් පවත්වයිද, මහණෙනි, මෙතෙම ගලේ ඇඳි ඉර වැනි පුද්ගලයායයි කියමි.
“මහණෙනි, පොළොවේ ඇඳි ඉර වැනි පුද්ගලයා නම් කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයි. හෙතෙම ඒ ක්‍රෝධය බොහෝ කලක් නොපවත්වයි. මහණෙනි, යම්සේ පොළොවේ ඇඳි ඉර වාතයෙන් හෝ ජලයෙන් හෝ වහා මැකේද, බොහෝ කල් නොපවතියිද, මහණෙනි, එසේම ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයිද, හෙතෙම ඒ ක්‍රෝධය බොහෝ කල් නොපවත්වයිද, මහණෙනි, මෙතෙම පොළොවේ ඇඳි ඉර වැනි පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, දියේ ඇඳි ඉර වැනි පුද්ගලයා නම් කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩිකොට කියනු ලබන්නේද, ඵරුෂව කියනු ලබන්නේද, අමනාපයෙන් කියනු ලබන්නේද, සම්බන්‍ධ වන්නේමය. සංසන්‍දනය වන්නේමය. සතුටු වන්නේමය. මහණෙනි, යම්සේ ජලයෙහි ඇඳි ඉර වහා මැකී යන්නේද, බොහෝ කල් නොපවත්තේද, මහණෙනි, එමෙන්ම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩිව කියනු ලබන්නේද, ඵරුෂව කියනු ලබන්නේද, අමනාපයෙන් කියනු ලබන්නේද, සම්බන්‍ධ වන්නේමය. සංසන්‍දනය වන්නේමය. සතුටු වන්නේමය. මහණෙනි, මෙතෙම දියේ ඇඳි ඉර වැනි පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ තිදෙනෙක් ඇත්තාහුය.”
දහතුන්වැනි භරංඩු වර්‍ගය නිමි.
(14) 4. යොධාජීව වර්‍ගය
1. යොධාජීව සූත්‍රය
[සාවත්ථි නිදානයි]
134. “මහණෙනි, අඞ්ග තුනකින් යුත් යුද්ධභට තෙමේ රජුට සුදුසුවූයේ, රජුගේ පරිභෝගය වූයේ, රජුගේ අඞ්ගයක යන සංඛ්‍යාවට පැමිණෙයි.
කවර තුනකින්ද යත්?
මහණෙනි, මෙහි යුද්ධභට තෙමේ දුර විදින්නේ වේද, නොවරදින සේ විදින්නේ වේද, මහත් ඝන දේ විදින්නේ වේද, මහණෙනි, මේ අඞඟ තුනෙන් යුත් යුද්ධ භට තෙමේ රජුට සුදුසුවූයේ, රජුගේ පරිභෝගය වූයේ, රජුගේ අඞඟය යන සංඛ්‍යාවට පැමිණෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම ධර්‍ම තුනකින් යුත් මහණ තෙමේ ආහුනෙය්‍ය වන්නේද, පාහුණෙය්‍ය වන්නේද, දක්ඛිණෙය්‍ය වන්නේද, අඤ්ජලිකරණීය වන්නේද, ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රය වන්නේද වෙයි.
කවර තුනකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දුර විදින්නේ වෙයි. නොවරදිනසේ විදින්නේ වෙයි. ඝන දෙය විදින්නේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම දුර විදින්නේ වෙයිද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අතීතවූද, අනාගතවූද, වර්‍තමානවූද, අධ්‍යාත්මවූද, බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම් රූපයක් ඇත්තේද, ඒ සියලු රූපය, එය මගේ නොවෙයි, එය මම නොවෙමි, එය මගේ ආත්මය නොවේයයි තත්ත්‍වාකාරයෙන් කරුණු සහිතව දකියිද, “අතීතවූද, අනාගතවූද, වර්‍තමානවූද, අධ්‍යාත්මවූද, බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද, හීනවූද, ප්‍රණීතවූද, ඒ සියලු වේදනා, ඒ මාගේ නොවෙයි, ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි තත්ත්‍වාකාරයෙන් කරුණු සහිතව දකියිද, “අතීතවූද, අනාගතවූද, වර්‍තමානවූද, අධ්‍යාත්මවූද, බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද, හීනවූද, ප්‍රණීතවූද, ඒ සියලු සංඥා, ඒ මාගේ නොවේ, ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි තත්ත්‍වාකාරයෙන් කරුණු සහිතව දකියිද, “අතීතවූද, අනාගතවූද, වර්‍තමානවූද, අධ්‍යාත්මවූද, බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද, හීනවූද, ප්‍රණීතවූද, ඒ සියලු සංස්කාර, ඒ මගේ නොවෙයි, ඒ මම නොවෙමි, ඒ මගේ ආත්මය නොවේයයි තත්ත්‍වාකාරයෙන් කරුණු සහිතව දකියිද, යම් කිසි විඤ්ඤාණයක් අතීතානාගත පච්චුප්පන්න වූද ... ඒ සියලු විඤ්ඤාණය ‘එය මගේ නොවේ, එය මම නොවෙමි, එය මගේ ආත්මය නොවේ’ යයි තත්ත්වාකාරයෙන් සම්ප්‍රඥාවෙන් දකියි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දුර විදින්නෙක් වෙයි.