3. 3. 3. 7. පඨම අනුරුද්ධ සූත්රය
[සැවැත් නුවර නිදානයයි]
27. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, අනුරුද්ධ ස්ථවිර තෙමේ, භාග්යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය. “ස්වාමීනි, මම මිනිස් බව ඉක්මවූ පිරිසිදු දිවැසින් බොහෝ සෙයින් ස්ත්රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදින බව දකිමි.
“ස්වාමීනි, කෙතෙක් ධර්මයන්ගෙන් යුත් ස්ත්රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදින්නේද?” යනුයි.
“අනුරුද්ධය, ධර්ම තුනකින් යුත් ස්ත්රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදියි.
කවර තුනකින්ද යත්?
“අනුරුද්ධය, මේ ලෝකයෙහි ස්ත්රිය උදය වරුවෙහි මසුරු මලයෙන් මඩනා ලද සිතින් ගෙයි වාසය කරත්. දවල් කාලයෙහි ඊර්ෂ්යාවෙන් මඩනා ලද සිතින් ගෙයි වාසය කරයි. සවස් කාලයෙහි රාගයෙන් මඩනා ලද සිතින් ගෙයි වාසය කරයි.
“අනුරුද්ධය, මේ ධර්ම තුනෙන් යුත් ස්ත්රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදියි.”
3. 3. 3. 8. දුතිය අනුරුද්ධ සූත්රය
28. “ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ හා සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු කථා කොට නිමවා එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හිඳගත් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළේය.
“ඇවැත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, මම මිනිසත් බව ඉක්මවූ පිරසිදුවූ දිවැසින් ලෝක දහසක් බලමි. මා විසින් පටන් ගන්නාද වීර්ය්යය නොහැකුළුනේය. සිහිය එළඹ සිටියාය. මුළා නොවූවාය. කය සංසිඳුනේය. දාහ රහිත වූයේය. සිත එකඟව සමාධියට පැමිණියේය. එවිටද මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන ආශ්රවයන්ගෙන් නොමිදේය” යි කීය.
[සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ:]
“ඇවැත් අනුරුද්ධය, තොපට ‘මම මෙසේ මිනිසත් බව ඉක්මවූ, පිරිසිදු දිවැසින් දහසක් ලෝකයන් බලමි’ යන යමක් ඇද්ද, මෙය තොපගේ මානය වෙයි.
“අනුරුද්ධය, තොපට, මෙසේ මා විසින් වීර්ය්යය පටන් ගන්නා ලදී. වීර්ය්යය නොහැකුළුණේය. නුමුළාවූ සිහිය එළඹ සිටියාය. කය සංසිඳුණේය. දාහ රහිත විය. සිත එකඟ විය. සමාධියට පැමිණියේය. යන යමක් වේද, මෙය තොපගේ උද්ධච්චය වෙයි.
“අනුරුද්ධය, තොපට මෙසේ එවිටද මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන ආශ්රවයන් කෙරෙන් නොමිදේය යන යමක් වේද, මෙය තොපගේ විචිකිච්ඡාව වෙයි.
“ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ මේ ධර්ම තුන හැර දමා මේ ධර්ම තුන මෙනෙහි නොකොට නිර්වාණ ධාතුවට හිත එළවන්නේ නම් මැනවි” යයි වදාළේය.
“එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ තනිව සමූහයාගෙන් වෙන්ව, අප්රමාදව, කෙලෙස් තවන වීර්ය්යයෙන් යුක්තව, ආත්ම පරිත්යාගයෙන් වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුල පුත්රයෝ යම් අර්ථයක් පිණිස ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්රහ්මචර්ය්යාව අවසානකොට ඇති ඒ අනුත්තර ධර්මය මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් දැන, ඊට පැමිණ වාසය කෙළේය. “ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු ආත්ම භාවයක් නැතැයි දැන ගත්තේය. අනුරුද්ධ තෙමේ රහතුන් අතුරෙන් එක්තරා රහත් පුද්ගලයෙක් විය.”