3. 3. 3. 6. කටුවිය කත සූත්රය
[බරණැස් නිදානයයි]
26. “එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ බරනැස්නුවර මිගදාය නම් ඉසිපතනයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්යවතුන් වහන්සේ පාත්රා සිව්රු ගෙන බරණැස්නුවරට පිඬු පිණිස වැඩියහ. එකල්හි භාග්යවතුන් වහන්සේ ගවයන් විකුණන තැනක හටගත් පුලිල ගසක් සමීපයෙහි පිඬු පිණිස හැසිරෙන සේක් ධ්යාන සැපයක් නැති හෙයින්, ස්වල්ප ආශ්වාදයක් ඇති කාම ගුණ සැප වශයෙන් ශාසනයෙන් බාහිර ආශ්වාදයක් ඇති, මුළාවූ සිහිය ඇති, නුවණ නැති, සමාධියෙන් තොරවූ, විසිර ගිය සිත් ඇති, විවෘත කළ ඉන්ද්රියයන් ඇති භික්ෂුවක් දැක, ඒ භික්ෂුවට මෙසේ වදාළ සේක.
“මහණ, මහණ, තෝ තමා ඉඳුල් අහරක් මෙන් නොකළ යුතුය. මහණ, ඒ ඉඳුල් අහරක් මෙන් කරන ලද, ක්රෝධය නමැති පිලී ගඳ හමන, කෙලෙසුන්ගෙන් තෙත්වූ, ඒ තමා ක්ලේශ නමැති මැස්සෝ ලුහුනොබඳිත්. ලුහුබැඳ නොකත් යන මීට හේතු නැත්තේය යනුයි.
“එකල්හි භාග්යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරන ලද ඒ මහණ තෙමේ සෝවාන් ඵලයට පැමිණියේය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ බරණැසෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ භික්ෂූනට ආමන්ත්රණය කළ සේක.
“මහණෙනි, මම පෙරවරු කාලයෙහි පාත්ර සිව්රු ගෙන බරණැසෙහි පිඬු පිණිස පැමිණියෙමි. මහණෙනි, මම ගවයන් විකුණන ස්ථානයෙහි හටගත් පුලිල ගස සමීපයෙහි පිඬු පිණිස හැසිරෙන්නෙම් ස්වල්ප ආශ්වාදය ඇති, බාහිර ආශ්වාදය ඇති, සිහි මුළාවූ, නුවණ නැත්තාවූ, සමාධියක් නැත්තාවූ, වික්ෂිප්ත සිත් ඇත්තාවූ, විවෘත කළ ඉන්ද්රිය ඇත්තාවූ එක්තරා භික්ෂුවක් දිටිමි. දැක ඒ භික්ෂුවට මෙසේ කීමි. කෙසේද?
“මහණ, මහණ, තෝ තමා ඉඳුල් අහරක් මෙන් නොකළ යුතුය. මහණ, ඒ ඉඳුල් අහරක් මෙන් කරන ලද, ක්රෝධය නමැති පිලී ගඳ හමන, කෙලෙසුන්ගෙන් තෙත්වූ, ඒ තමා ක්ලේශ නමැති මැස්සෝ ලුහුනොබඳිත්. ලුහුබැඳ නොකත් යන මීට හේතු නැත්තේය යනුයි.
“මහණෙනි, එකල්හි මා විසින් මේ අවවාදයෙන් අවවාද කරන ලද ඒ මහණ තෙම සෝවාන් ඵලයට පැමිණියේයයි වදාළ සේක.
“මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක්, ‘ස්වාමීනි, ඉඳුල් බත යනු කුමක්ද? පිලීගඳ යනු කුමක්ද? මැස්සෝ යනු කුමක්දැ?’ යි භාග්යවතුන් වහන්සේගෙන් ඇසීය.
“මහණ, ඉඳුල් බත නම් අභිද්යාවය. පිලීගඳ නම් ව්යාපාදයය. මැස්සෝ නම් ලාමක අකුශල විතර්කයෝය. මහණ, ඒ ඉඳුල් බතක් කරන ලද, පිලීගඳ හමන්නාවූ, කෙලෙසුන්ගෙන් තෙත්වූ තමා, අකුසල විතර්ක නමැති මැස්සෝ ලුහු නොබඳිත්. ලුහුබැඳ නොකත් යන මීට හේතු නැත්තේය” යි වදාළ සේක.
“ඇස්, කන් නොරක්නා ලද, ඉන්ද්රියයන්හි සංවර නොවූ, ඔහු රාග විතර්ක නමැති මැස්සෝ ලුහුබඳිත්.”
“තමා ඉඳුල් බතක් මෙන් කරන ලද්දාවූ, පිලීගඳ හමන්නාවූ, කෙලෙසුන්ගෙන් තෙත්වූ මහණ තෙමේ නිර්වානයෙන් දුරු වූයේ, දුකටම භාජන වූවෙක් වන්නේය.”
“ගමෙහි හෝ ආරණ්යයෙහි හෝ තමාගේ සංසිඳීමක් නොලත් අඥාන බාල තෙමේ මැස්සන්ගෙන් පෙරටුව ගමන් කරන්නේය.”
“යම් කෙනෙක් සීලයෙන් යුක්තව, ප්රඥාවෙන් සංසිඳීමෙහි ඇලී වෙසෙත්ද, ඔවුහු මැස්සන් නසා සංසිඳුනාහු සැපසේ සයනය කරත්.”
3. 3. 3. 7. පඨම අනුරුද්ධ සූත්රය
[සැවැත් නුවර නිදානයයි]
27. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, අනුරුද්ධ ස්ථවිර තෙමේ, භාග්යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය. “ස්වාමීනි, මම මිනිස් බව ඉක්මවූ පිරිසිදු දිවැසින් බොහෝ සෙයින් ස්ත්රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදින බව දකිමි.
“ස්වාමීනි, කෙතෙක් ධර්මයන්ගෙන් යුත් ස්ත්රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදින්නේද?” යනුයි.
“අනුරුද්ධය, ධර්ම තුනකින් යුත් ස්ත්රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදියි.