3. 3. 3. 5. හත්ථක දෙවපුත්ත සූත්රය
[සැවැත් නුවර නිදානයයි]
25. “මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි හත්ථක නම් බ්රහ්ම දිව්ය පුත්ර තෙමේ යහපත් රාත්රියක, ශෝභාමත් ශරීර වර්ණ ඇතිව, මුළු ජේතවනාරාමය ආලෝක කොට, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේගේ ඉදිරියෙහි සිටින්නෙමියි ගිලෙන්නේද, මතුවන්නේද වෙයි. පිහිටීමට නොහැකි වෙයි. යම්සේ ගිතෙල් හෝ තෙල් හෝ වැල්ලෙහි ඉසින ලද්දේ, ගිලෙන්නෙත්, මතුවන්නේත් වේද, එමෙන් හන්ථක දේව පුත්ර තෙමේ, භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටින්නෙමියි, ගිලෙන්නේද, මතුවන්නේද වෙයි. පිහිටීමට නොහැකි වෙයි.
“ඉක්බිති භාග්යවතුන් වහන්සේ හන්ථක බ්රහ්ම දිව්ය පුත්රයාට, “හන්ථකය, ඖදාරික ආත්ම භාවයක් මවා ගනුව” යි වදාළ සේක.
“ස්වාමීනි, එසේය” යි හන්ථක බ්රහ්ම දේවපුත්ර තෙම භාග්යවතුන් වහන්සේට පිළිතුරු දී ඖදාරික ආත්ම භාවයක් මවා භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ හන්ථක දිව්ය පුත්රයාට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“හත්ථක, පෙර මනුෂ්යව වාසය කරද්දී ඉගෙන ගත් යම් ධර්ම තොපට වූවාහු නම් ඒ ධර්මයෝ තොපට දැනුදු ධාරණව පවත්නාහුද?” යනුයි.
“ස්වාමීනි, පෙර මනුෂ්යවූ මා හට යම් ධර්මයෝ ධාරණව පැවැත්තාහුද, ඒ ධර්මයෝ දැනුදු මට ධාරණව ඇත්තාහුය. පෙර මනුෂ්යවූ මා හට යම් ධර්මයෝ ධාරණව නොපැවැත්තාහුද, ඒ ධර්මයෝද දැන් මා හට ධාරණව ඇත්තාහුය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ දැන් භික්ෂූන්ගෙන්, භික්ෂුණීන්ගෙන්, උපාසකයන්ගෙන්, උපාසිකාවන්ගෙන්, රජුන්ගෙන්, රාජ මහාමාත්යයන්ගෙන්, තීර්ථකයන්ගෙන්, තීර්ථක ශ්රාවකයන්ගෙන් ආකීර්ණව වාසය කරන සේක්ද, ස්වාමීනි, එසේම මම දිව්ය පුත්රයන්ගෙන් ආකීර්ණව වාසය කරමි. ස්වාමීනි, දුර සිටද දිව්ය පුත්රයෝ හත්ථක දිව්ය පුත්රයාගෙන් ධර්මය අසන්නෙමැයි පැමිණෙත්. ස්වාමීනි, මම කරුණු තුනකින් තෘප්තියක් නැතිව, සෑහීමක් නැතිව කාලක්රියා කෙළෙමි.
කවර තුනකින්ද?
ස්වාමීනි, මම භාග්යවතුන් වහන්සේගේ දැකීමෙන් ඇතිවීමක් සෑහීමක් නැතිව කාලක්රියා කෙළෙමි. ස්වාමීනි, මම ධර්ම ශ්රවණ කිරීමෙහි තෘප්තියක් සෑහීමක්, නැතිව කාලක්රියා කෙළෙමි. ස්වාමීනි, මම සංඝයාට උපස්ථාන කිරීමෙහි තෘප්තියක් නැතිව, ඇතිවීමක් නැතිව කාලක්රියා කෙළෙමි. ස්වාමීනි, මම මේ තුන් ධර්මයන්ගේ තෘප්තියක් සෑහීමක් නැතිව කාලක්රියා කෙළෙමි.
“මම භාග්යවතුන් වහන්සේගේ දැක්මෙහිද, සංඝයාට උපස්ථාන කිරීමෙහිද, බණ ඇසීමෙහිද, කිසි කලෙක තෘප්තියට නොපැමිණියෙමි.
“අධිශීලයෙහි හික්මෙන්නාවූ, ධර්ම ශ්රවණයෙහි ඇලුණාවූ, ධර්ම තුනකින් තෘප්තියක් නැත්තාවූ හත්ථක තෙමේ අවිහ බඹලොවට ගියේය.”
3. 3. 3. 6. කටුවිය කත සූත්රය
[බරණැස් නිදානයයි]
26. “එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ බරනැස්නුවර මිගදාය නම් ඉසිපතනයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්යවතුන් වහන්සේ පාත්රා සිව්රු ගෙන බරණැස්නුවරට පිඬු පිණිස වැඩියහ. එකල්හි භාග්යවතුන් වහන්සේ ගවයන් විකුණන තැනක හටගත් පුලිල ගසක් සමීපයෙහි පිඬු පිණිස හැසිරෙන සේක් ධ්යාන සැපයක් නැති හෙයින්, ස්වල්ප ආශ්වාදයක් ඇති කාම ගුණ සැප වශයෙන් ශාසනයෙන් බාහිර ආශ්වාදයක් ඇති, මුළාවූ සිහිය ඇති, නුවණ නැති, සමාධියෙන් තොරවූ, විසිර ගිය සිත් ඇති, විවෘත කළ ඉන්ද්රියයන් ඇති භික්ෂුවක් දැක, ඒ භික්ෂුවට මෙසේ වදාළ සේක.
“මහණ, මහණ, තෝ තමා ඉඳුල් අහරක් මෙන් නොකළ යුතුය. මහණ, ඒ ඉඳුල් අහරක් මෙන් කරන ලද, ක්රෝධය නමැති පිලී ගඳ හමන, කෙලෙසුන්ගෙන් තෙත්වූ, ඒ තමා ක්ලේශ නමැති මැස්සෝ ලුහුනොබඳිත්. ලුහුබැඳ නොකත් යන මීට හේතු නැත්තේය යනුයි.
“එකල්හි භාග්යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරන ලද ඒ මහණ තෙමේ සෝවාන් ඵලයට පැමිණියේය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ බරණැසෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ භික්ෂූනට ආමන්ත්රණය කළ සේක.
“මහණෙනි, මම පෙරවරු කාලයෙහි පාත්ර සිව්රු ගෙන බරණැසෙහි පිඬු පිණිස පැමිණියෙමි. මහණෙනි, මම ගවයන් විකුණන ස්ථානයෙහි හටගත් පුලිල ගස සමීපයෙහි පිඬු පිණිස හැසිරෙන්නෙම් ස්වල්ප ආශ්වාදය ඇති, බාහිර ආශ්වාදය ඇති, සිහි මුළාවූ, නුවණ නැත්තාවූ, සමාධියක් නැත්තාවූ, වික්ෂිප්ත සිත් ඇත්තාවූ, විවෘත කළ ඉන්ද්රිය ඇත්තාවූ එක්තරා භික්ෂුවක් දිටිමි. දැක ඒ භික්ෂුවට මෙසේ කීමි. කෙසේද?