4. භරණ්ඩුකාලාම සූත්‍රය
[කිඹුල්වත්පුර නිදානය]
24. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට චාරිකාවෙහි වඩිනා සේක් කිඹුල්වත්පුරයට වැඩි සේක. මහානාම ශාක්‍ය තෙමේ, භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩි සේකැයි ඇසීය. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි මහානාම ශාක්‍යයාහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහානාමය, යම් තැනක අපි අද එක් රැයක් වාසය කරමුද, ඊට සුදුසු ආවාසයක් දැන ගනුව” කියායි. මහානාම ශාක්‍ය තෙමේ, “ස්වාමීනි, එසේය” යි භාග්‍යවතුන් වහන්සේ ට පිළිතුරු දී, කිඹුල්වත්පුරයට පැමිණ, මුළු කිඹුල්වත්පුරයෙහි ඇවිද, කිඹුල්වත්පුරයෙහි යම් තැනෙක භාග්‍යවතුන් වහන්සේ එක් රැයක් වාසය කරන්නේද, ඊට සුදුසු ආවාසයක් නුදුටුවේය.
“එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අද යම් තැනෙක එක් රැයක් වාසය කරන්නේද, ඊට සුදුසු ආවාසයක් නැත. ස්වාමීනි, මේ භාග්‍යවතුන් වහන්සේගේ පුරාණ, එකට විසූ ශ්‍රමණයෙක්වූ, භරංඩුකාලාම නම් ශ්‍රමණ තෙම ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ආශ්‍රමයෙහි එක් රැයක් වසන සේක්වා” යි කීය.
“මහානාමය, යව. ඇතිරියක් අතුරව” යි වදාළ සේක. මහකොම ශාක්‍ය තෙමේ, “ස්වාමීනි, එසේය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, භරංඩුකාලාමයාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ඇතිරියක් අතුට, පා සේදීම පිණිස පැන් තබා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය :
“ස්වාමීනි, ඇතිරියක් අතුරණ ලදී. පා දොවීම පිණිස පැන් තබන ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් කාලය දන්නා සේකැ” යි කීය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භරංඩුකාලාමයාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ පනවන ලද ආසනයෙහි වැඩහුන්සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ පා සේදූහ.
ඉක්බිති මහානාම ශාක්‍යයාහට මෙසේ අදහස් විය. “අද භාග්‍යවතුන් වහන්සේ පයුරුපාසනය කිරීමට කල් නොවේ. භාග්‍යවතුන් වහන්සේ වෙහෙස වූහ. දැන මම හෙට භාග්‍යවතුන් වහන්සේ පයුරුපාසනය කරන්නෙමි” යි කියායි. මෙසේ සිතා භාග්‍යවතුන් වහන්සේ වැඳ ගෞරවකොට ගියේය.
“ඉක්බිති මහානාම ශාක්‍ය තෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හිඳගත් මහානාම ශාක්‍යයාහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහානාමය, ලෝකයෙහි මේ ශාස්තෲවරයෝ තුන් දෙනෙක් ඇත්තාහුය.
කවර තුන් දෙනෙක්ද?
මහානාමය, මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් කාමයන්ගේ ඉක්මවීම පනවයි. රූපයන්ගේ ඉක්මවීම නොපනවයි. වේදනාවන්ගේ ඉක්මවීම නොපනවයි. “මහානාමය, මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් කාමයන්ගේද ඉක්මවීම පණවයි. රූපයන්ගේද ඉක්මවීම පනවයි. වේදනාවන්ගේ ඉක්මවීම නොපනවයි. “මහානාමය, මෙහි ඇතැම් ශාස්තෲවරයෙක් කාමයන්ගේද ඉක්මවීම පනවයි. රූපයන්ගේද ඉක්මවීම පනවයි. වේදනාවන්ගේද ඉක්මවීම පනවයි. “මහානාමය, මේ ශාස්තෲවරයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ.
මහානාමය, මේ තුන් ශාස්තෲවරයන්ගේම නිෂ්ටාව එකක්මද, නැතහොත් වෙන්වූ නිෂ්ටා වෙත්ද?”
මෙසේ වදාළ කල්හි භරංඩුකාලාම තෙමේ, “මහානාමය, එකෙකැයි කියව” යි මහානාම ශාක්‍යයන්හට කීය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහානාමය, වෙන් වෙන් වූයේයයි කියව” යි මහානාම ශාක්‍යයන්ට වදාළ සේක.
දෙවනුවත් මෙසේ වදාළ කල්හි භරංඩුකාලාම තෙමේ, “මහානාමය, එකෙකැයි කියව” යි මහානාම ශාක්‍යයන්හට කීය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහානාමය, වෙන් වෙන් වූයේයයි කියව” යි මහානාම ශාක්‍යයන්ට වදාළ සේක. තෙවනුවත් මෙසේ වදාළ කල්හි භරංඩුකාලාම තෙමේ, “මහානාමය, එකෙකැයි කියව” යි මහානාම ශාක්‍යයන්හට කීය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහානාමය, වෙන් වෙන් වූයේයයි කියව” යි මහානාම ශාක්‍යයන්ට වදාළ සේක.