3. 3. 2. 5. විපත්තිසම්පදා සූත්රය
15. මහණෙනි, මේ විපත්ති තුනෙකි. කවර තුනක්ද යත්? සීල විපත්තිය, චිත්ත විපත්තිය, දිට්ඨි විපත්තිය යන මොහුය.
මහණෙනි, සීල විපත්තිය නම් කවරීද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සතුන් මරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයිද, බොරු කියන්නේ වෙයිද, කේලාම් කියන්නේ වෙයිද, ඵරුස වචන කියන්නේ වෙයිද, ප්රලාප කියන්නේ වෙයිද, මහණෙනි, මෙය සීල විපත්තියයි කියනු ලැබේ.
මහණෙනි, චිත්ත විපත්තිය කවරීද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අභිද්යාව බහුලකොට ඇත්තේ, ව්යාපාද සිත් ඇත්තේ වෙයිද, මහණෙනි, මෙය චිත්ත විපත්තියයි කියනු ලැබේ.
මහණෙනි, දිට්ඨි විපත්තිය කවරීද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මිථ්යාදෘෂ්ටි ඇත්තේ වෙයිද, විපරීත දැකුම් ඇත්තේ වෙයිද, දීමෙහි පලක් නැත, මහා දානයෙහි පලක් නැත, පිදීමෙහි පලක් නැත, කරනලද හොඳ නරක කර්මයන්ගේ පල විපාක නැත. මෙලොවක් නැත, පරලොවක් නැත, මවුට හොඳ හෝ නරක කිරීමෙහි විපාක නැත, පියාට හොඳ හෝ නරක කිරීමෙහි විපාක නැත. මැරී නැවත උපදින්නාවූ සත්ත්වයෝ නැත. ලෝකයෙහි යහපත් මග ගියාවූ, මනාව පිළිපදින්නාවූ, මෙලොවත් පරලොවත් තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට යම් මහණ බමුණු කෙනෙක් ප්රකාශ කෙරෙද්ද, එවැනි මහණ බමුණෝ ලෝකයෙහි නැත. යන දෘෂ්ටි ඇත්තේ වෙයිද, මහණෙනි, මේ දිට්ඨි විපත්තියයි කියනු ලැබේ.
මහණෙනි, සීල විපත්තිය හේතුකොට ගෙන හෝ, සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති විනාශයට පැමිණෙත්. නිරයෙහි උපදිත්. මහණෙනි, චිත්ත විපත්තිය හේතුකොට ගෙන හෝ සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විනාශයට පැමිණෙත්. නිරයෙහි උපදිත්. මහණෙනි, දිට්ඨි විපත්තිය හේතුකොට ගෙන හෝ සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති විනාශයට පැමිණෙත්. නිරයෙහි උපදිත්.
මහණෙනි, මේ වනාහි විපත්ති තුන වෙත්.
“මහණෙනි, සම්පත් තුනකි. කවර තුනක්ද? සීල සම්පත්තිය, චිත්ත සම්පත්තිය, දිට්ඨි සම්පත්තිය යන මොහුයි.
මහණෙනි, සීල සම්පත්තිය නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වේද, සොරකම් කිරීමෙන් වැළකුණේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වේද, බොරු කීමෙන් වැළකුණේ වේද, කේලාම් කීමෙන් වැළකුණේ වේද, ඵරුෂ වචන කීමෙන් වැළකුණේ වේද, ප්රලාප කීමෙන් වැළකුණේ වේද, “මහණෙනි, මේ වනාහි සීල සම්පත්තියයි කියනු ලැබේ.
මහණෙනි, චිත්ත සම්පත්තිය නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් අභිද්යාව බහුල කොට නැත්තේ වේද, ව්යාපාද සිත් නැත්තේ වේද, මහණෙනි, මේ චිත්ත සම්පත්තියයි කියනු ලැබේ.
මහණෙනි, දිට්ඨි සම්පත්තිය නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුන් දෙයෙහි විපක ඇත, මහා දානයෙහි විපාක ඇත, පිදීමෙහි විපාක ඇත, කරන ලද හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත. මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවුට හොඳ හෝ නරක කිරීමෙහි විපාක ඇත, පියාට හොඳ හෝ නරක කිරීමෙහි විපාක ඇත. මැරී නැවත උපදින්නාවූ සත්ත්වයෝ ඇත. යම් කෙනෙක්, මෙලොවද පරලොවද තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ප්රකාශ කරද්ද, යහපත් මාර්ගයෙහි ගමන් කළාවූ, මනාව පිළිපන්නාවූ, එවැනි ශ්රමණ බ්රාහ්මණයෝ ලෝකයෙහි ඇතැයි ගත් සම්යක් දෘෂ්ටි ඇත්තෝ වෙයිද, විපරීත නොවූ දෘෂ්ටි ඇත්තෝ වෙයිද, මහණෙනි, මෙය දිට්ඨි සම්පත්තියයි කියනු ලැබේ.
“මහණෙනි, සීල සම්පත්තිය හේතුකොට ගෙනද සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් පැමිණීම් ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. මහණෙනි, චිත්ත සම්පත්තිය හේතුකොට ගෙනද සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. මහණෙනි, දිට්ඨි සම්පත්තිය හේතුකොට ගෙනද සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්.
“මහණෙනි, මේ වනාහි සම්පත් තුන වෙත්.
6. අපණ්ණක සූත්රය
16. මහණෙනි, මේ විපත්ති තුනෙකි. කවර තුනක්ද යත්? සීල විපත්තිය, චිත්ත විපත්තිය, දිට්ඨි විපත්තිය යන මොහුය.
මහණෙනි, සීල විපත්තිය නම් කවරීද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සතුන් මරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයිද, බොරු කියන්නේ වෙයිද, කේලාම් කියන්නේ වෙයිද, ඵරුස වචන කියන්නේ වෙයිද, ප්රලාප කියන්නේ වෙයිද, මහණෙනි, මෙය සීල විපත්තියයි කියනු ලැබේ.
මහණෙනි, චිත්ත විපත්තිය කවරීද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අභිද්යාව බහුලකොට ඇත්තේ, ව්යාපාද සිත් ඇත්තේ වෙයිද, මහණෙනි, මෙය චිත්ත විපත්තියයි කියනු ලැබේ.