3. 3. 2. 3. අප්පමෙය්ය සූත්රය
13. මහණෙනි, ලෝකයෙහි පුද්ගලයෝ තුන් දෙනෙක් විද්යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද යත්? පහසුවෙන් මැනිය හැකි පුද්ගලයාද, මැනීමට දුෂ්කර පුද්ගලයාද, නොමැනිය හැකි පුද්ගලයාද වෙත්.
මහණෙනි, පහසුවෙන් මැනිය හැකි පුද්ගලයා නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වික්ෂිප්ත වූයේ, උඩඟු වූයේ, චපල වූයේ, මුඛර වූයේ, අසංවර වචන ඇත්තේ, තැන්පත් සිතක් නැත්තේ, කලබලවූ සිත් ඇත්තේ, නොවැසූ ඉන්ද්රියයන් ඇත්තේ වෙයිද, මහණෙනි, මෙතෙම වනාහි පහසුවෙන් මැනියහැකි පුද්ගලයායයි කියනු ලැබේ.
මහණෙනි, මැනීමට දුෂ්කර පුද්ගලයා නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වික්ෂිප්ත නොවූයේ, උඩඟු නොවූයේ, චපල නොවූයේ, මුඛර නොවූයේ, සංවර වචන ඇත්තේ, තැන්පත් සිත් ඇත්තේ, කලබල නොවූ සිත් ඇත්තේ, වැසූ ඉන්ද්රියයන් ඇත්තේ වෙයිද, මහණෙනි, මෙතෙම වනාහි මැනීමට දුෂ්කර පුද්ගලයායයි කියනු ලැබේ.
මහණෙනි, නොමැනිය හැකි පුදගලයා නම් කවරේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආශ්රවයන් ක්ෂ්ය කළ අර්හත් පුද්ගලයෙක් වෙයිද, මහණෙනි, මෙතෙම මැනිය නොහැකි පුද්ගලයායයි කියනු ලැබේ.
මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලෝකයෙහි විද්යමාන වෙත්.”
3. 3. 2. 4. අරිය පුථුජ්ජන සූත්රය
14. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන්දෙනෙකේ වෙත්. කවර තිදෙනෙක්ද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු ආකාරයෙන් රූප සංඥා ඉක්මවා ද්වාරාරම්මණ වශයෙන් ගැටීම් ස්වභාවය ඇති රූප සංඥා දුරුකොට, නානත්ත සංඥා නොමෙනෙහි කිරීමෙන්, ආකාසය අනන්තයයි මෙනෙහිකොට, ආකාසානඤ්චායතන ධ්යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ඒ ධ්යානය ආශ්වාදය කරයි. ඊට කැමති වෙයි. එයින් සතුටට පැමිණෙයි. එහි සිට ඒ අදහසින් යුක්තව එය බහුලකොට වාසය කිරීමෙන් ධ්යානයෙන් නොපිරිහී කාලක්රියා කරණුයේ ආකාසානඤ්චායතන දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
මහණෙනි, ආකාසානඤ්චායතන දෙවියන්ගේ ආයුෂ ප්රමාණය මහාකල්ප විසි දහසක් වෙයි. පෘතග්ජන තෙමේ එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයුෂ ප්රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා නිරයටද පැමිණෙයි. තිරිසන් අපායටද පැමිණෙයි. ප්රෙත විෂයටද පැමිණෙයි.
භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක තෙමේ වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුෂ යම්තාක්ද, ඒ සියල්ල ගෙවා එම භවයෙහිම පිරිනිවෙන්නේය.
මහණෙනි, ශ්රුතවත් ආර්ය්ය ශ්රවකයාගේ හා අශ්රුතවත් පෘතග්ජනයාගේ ගතියෙහි, උත්පත්තියෙහි මේ විශේෂය වෙයි. මේ අභිප්රාය වෙයි. මේ නානත්වය වෙයි.
මහණෙනි, තවද, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි මෙනෙහිකොට විඤ්ඤාණඤ්චායතන ධ්යානයට පැමිණ වාසය කරයි. හෙතෙම එය ආශ්වාදය කරයි. ඊට කැමති වෙයි. එයින් සතුටට පැමිණෙයි. එහි සිට, එහි නැමුණු අදහස් ඇතිව, එය බහුල කිරීමෙන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
මහණෙනි, විඤ්ඤාණඤ්චායතන දෙවියන්ගේ ආයුෂ ප්රමාණය මහාකල්ප සතලිස් දහසක් වෙයි. එහි පෘතග්ජන තෙමේ ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුෂ ප්රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා නිරයටද පැමිණෙයි. තිරිසන් යෝනියටද පැමිණෙයි. ප්රෙත විෂයටද පැමිණෙයි.
භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක තෙම එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයුෂ ප්රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා, ඒ භවයෙහිම පිරිනිවෙන්නේය.
මහණෙනි, ශ්රුතවත් ආර්ය්ය ශ්රාවකයාගේ හා අශ්රුතවත් පෘතග්ජනයාගේ ගතියෙහි, උත්පත්තියෙහි මේ වෙනසයි. මේ අභිප්රායයි. මේ නානත්වයයි.
මහණෙනි, තවද, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි මෙනෙහිකොට ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. හෙතෙම එය ආශ්වාදය කරයි. ඊට කැමති වෙයි. එයින් සතුටට පැමිණෙයි. එහි සිට, එහි නැමුණු අදහස් ඇතිව, එය බහුල කිරීමෙන් ධ්යානයෙන් නොපිරිහී කාලක්රියාකොට ආකිඤ්චඤ්ඤායතන දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
මහණෙනි, ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ගේ ආයුෂ ප්රමාණය මහාකල්ප සැට දහසකි. එහි පෘතග්ජන තෙම, ආයු ඇතිතාක් කල් සිට ඒ දෙවියන්ගේ ආයුෂ ප්රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා නිරයටද පැමිණෙයි. තිරිසන් යෝනියටද පැමිණෙයි. ප්රෙත විෂයටද පැමිණෙයි.
භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක තෙම එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයුෂ ප්රමාණය යම්තාක්ද, ඒ සියල්ල ගෙවා, ඒ භවයෙහිම පිරිනිවෙන්නේය.