10. මොනෙය්‍ය සූත්‍රය
20. මහණෙනි, යහපත් බැව් තුනකි. කවර තුනක්ද? කයේ යහපත් බවද, වචනයේ යහපත් බවද, සිතේ යහපත් බවද වෙත්.
මහණෙනි, කයේ යහපත් බව නම් කුමක්ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතුන් මැරීමෙන් වැළකුණේ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයිද, අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වැළකුණේ වෙයිද, මහණෙනි, මේ කයේ යහපත් බවයයි කියනු ලැබේ.
මහණෙනි, වචනයේ යහපත් බව නම් කවරේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම බොරු කීමෙන් වැළකුණේ වෙයිද, කේළාම් කීමෙන් වැළකුණේ වේද, ඵරුෂ වචන කීමෙන් වැළකුණේ වෙයිද, ප්‍රලාප කීමෙන් වැළකුණේ වෙයිද, මහණෙනි, මේ වචනයේ යහපත් බවයයි කියනු ලැබේ.
මහණෙනි, සිතේ යහපත් බව නම් කවරේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්‍හත්ඵල සමාධියත් අර්‍හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහි තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ සිතේ යහපත් බව යයි කියනු ලැබේ.
මහණෙනි, මේ යහපත් බැව් තුන වෙත්.
“කයේ යහපත් බව, වචනයේ යහපත් බව, සිතේ යහපත් බව යන මොහු යහපත් බැව් තුනය. ආශ්‍රව රහිතවූ යහපත් භාවයෙන් යුත් භික්‍ෂුව සියලු කෙලෙසුන් පහ කළ රහත් පුද්ගලයායයි කීහු.”
දොළොස්වැනි ආපායික වර්‍ගය නිමි.
(13) 3. භාරංඩු (හෝ) කුසිනාරා වර්‍ගය
1. බලිහරණ සූත්‍රය
[කුසිනාරා නිදානය]
21. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර බලිහරණ නම් වන ලැහැබෙහි වාසය කරන සේක. එතල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, භික්‍ෂූන්ට, ‘මහණෙනි,’ යි කියා ආමන්ත්‍රණය කළ සේක. එවිට භික්‍ෂූහු, ‘ස්වාමීනි’ කියා උත්තර දුන්හ.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එළඹ, පසු දිනය පිණිස බතින් නිමන්ත්‍රණය කරයි. කැමැත්තාවූ භික්‍ෂුතෙමේ නිමන්ත්‍රණය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රියෙන් පසු පෙරවරු කාලයෙහි පාත්‍ර සිව්රු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදොර යම් තැනකද, එහි පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳගනියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ කෑ යුතු දෙයින්ද, බුදිය යුතු දෙයින්ද, සියතින් වළඳවයි. ‘ඇත, ඇත’ කියා ප්‍රතික්‍ෂෙප කරවයි. ඒ භික්‍ෂුවට මෙසේ සිතෙයිද, කෙසේද? ‘මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ නැවතද මා මෙබඳු ප්‍රණීත කෑ යුතු දෙයින්, බුදිය යුතු දෙයින්, සියතින් වළඳවන්නේ නම්, ‘ඇත, ඇත’ කියා ප්‍රතික්‍ෂෙප කරවන්නේ නම් යහපති’ කියායි. හෙතෙම ඒ පිණ්ඩපාතය තෘෂ්ණාවෙන් ඇලී, මූර්ඡාවී, තෘෂ්ණාවෙහි ගැලී, ආදීනව නොදන්නෙක්ව, නික්මීමේ ප්‍රඥාව නැත්තෙක්ව වළඳයි. හෙතෙම එහි කාම විතර්‍කද කල්පනා කරයි. විහිංසා විතර්‍කද කල්පනා කරයි. “මහණෙනි, මම මෙබඳු භික්‍ෂුවකට දෙන ලද දානය මහත් ඵල ඇත්තේයයි නොකියමි. කුමක් හෙයින්ද? මහණෙනි, ඒ භික්‍ෂුව ප්‍රමාදව වාසය කරයි.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එළඹ, පසු දිනය පිණිස බතින් නිමන්ත්‍රණය කරයි. කැමැත්තාවූ භික්‍ෂුතෙමේ නිමන්ත්‍රණය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රියෙන් පසු පෙරවරු කාලයෙහි පාත්‍ර සිව්රු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදොර යම් තැනකද, එහි පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳගනියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ කෑ යුතු දෙයින්ද, බුදිය යුතු දෙයින්ද, සියතින් වළඳවයි. ‘ඇත, ඇත’ කියා ප්‍රතික්‍ෂෙප කරවයි. ඔහුට මෙසේ අදහස් නොවෙයි. කෙසේද? ‘මේ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍ර තෙමේ හෝ පසුව මෙවැනි ප්‍රණීත කෑ යුතු දෙයින් හෝ බුදිය යුතු දෙයින් හෝ සියතින් මා වළඳවන්නේ නම්, ‘ඇත, ඇත’ කියා ප්‍රතික්‍ෂෙප කරවන්නේ නම් යහපත්ය’ කියායි. හෙතෙම ආහාරය තෘෂ්ණාවෙන් නොබැඳී, මූර්ඡා නොවී, තෘෂ්ණාවෙහි නොගිලී, ආදීනව දකිමින්, නික්මෙණ ප්‍රඥාවෙන් යුක්තව වළඳයි. හෙතෙම එහි නෛෂ්ක්‍රම්‍ය විතර්‍කද කල්පනා කරයි. අව්‍යාපාද විතර්‍කද කල්පනා කරයි. අවිහිංසා විතර්‍කද කල්පනා කරයි. “මහණෙනි, මම මෙබඳු භික්‍ෂුවට දෙන ලද දානය මහත්ඵල වන්නේයයි කියමි. කුමක් හෙයින්ද, මහණෙනි, මේ මහණ තෙම අප්‍රමාදව වාසය කරයි.”