3. 3. 1. 4. සමණබ්රාහ්මණ සූත්රය
4. “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ලෝකයෙහි ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනවය වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත්, තත්ත්වාකාරයෙන් නොදනිත්ද, මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණයයි සම්මත වූවාහු හෝ බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණයයි සම්මත වූවාහු හෝ නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්රමණ අර්ථය හෝ බ්රාහ්මණ අර්ථය හෝ මේ ආත්මයෙහි තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය නොකරත්.
“මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ලෝකයෙහි ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනවය වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත්, තත්ත්වාකාරයෙන් දැනගනිත්ද, මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණයයි සම්මත වූවාහු හෝ බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණයයි සම්මත වූවාහු හෝ වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණාර්ථයද, බ්රාහ්මණාර්ථයද, මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නාහුය”
3. 3. 1. 5. රුණ්ණමිදං සූත්රය
5. “මහණෙනි, යම් ගී කීමක් වේ නම්, ඒ ගී කීම ආර්ය්ය විනයෙහි හැඬීමකි. මහණෙනි, යම් නැටීමක් වෙයි නම්, එය ආර්ය්ය විනයෙහි උමතුකමකි. මහණෙනි, ප්රමාණය ඉක්මවා, දත් විදහා, මහ හඬින් සිනාසීමක් වේද, එය ආර්ය්ය විනයෙහි බාලයන්ගේ ක්රියාවකි.
“මහණෙනි, එහෙයින් ගී කීමෙහි හේතුව නසව. නැටීමෙහි හේතුව නසව. තොපට සතුටුවිය යුතුවූ යම් කරුණක් ඇතිවූ කල දත් අග දක්නා පමණින් සිනාසීම සුදුසුය.
3. 3. 1. 6. නත්ථිතිත්ති සූත්රය
6. “මහණෙනි, කරුණු තුනක් සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. කවර තුනක්හුගේද යත්.
“මහණෙනි, නින්ද සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, සුරාපානය සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, මෛථුන ධර්මය සේවනය කිරීමෙහි තෘප්තියක් නැත.
මහණෙනි, මේ කරුණු තුන සේවනය කිරීමෙහි තෘප්තියක් නැත.”
3. 3. 1. 7. චිත්තරක්ඛණ සූත්රය
7. “එකල්හි අනේපිඬු සිටු තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හිඳගත්තේය. එක් පසෙක හිඳගත් අනේපිඬු ගෘහපතිහට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ගෘහපතිය, සිත නොරැකි කල්හි කාය කර්මයද නොරක්නා ලද්දේය, වාක් කර්මයද නොරක්නා ලද්දේය. මනො කර්මයද නොරක්නා ලද්දේය.