3. 3. 1. 5. රුණ්ණමිදං සූත්‍රය
5. “මහණෙනි, යම් ගී කීමක් වේ නම්, ඒ ගී කීම ආර්‍ය්‍ය විනයෙහි හැඬීමකි. මහණෙනි, යම් නැටීමක් වෙයි නම්, එය ආර්‍ය්‍ය විනයෙහි උමතුකමකි. මහණෙනි, ප්‍රමාණය ඉක්මවා, දත් විදහා, මහ හඬින් සිනාසීමක් වේද, එය ආර්‍ය්‍ය විනයෙහි බාලයන්ගේ ක්‍රියාවකි.
“මහණෙනි, එහෙයින් ගී කීමෙහි හේතුව නසව. නැටීමෙහි හේතුව නසව. තොපට සතුටුවිය යුතුවූ යම් කරුණක් ඇතිවූ කල දත් අග දක්නා පමණින් සිනාසීම සුදුසුය.
3. 3. 1. 6. නත්‍ථිතිත්ති සූත්‍රය
6. “මහණෙනි, කරුණු තුනක් සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. කවර තුනක්හුගේද යත්.
“මහණෙනි, නින්‍ද සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, සුරාපානය සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, මෛථුන ධර්‍මය සේවනය කිරීමෙහි තෘප්තියක් නැත.
මහණෙනි, මේ කරුණු තුන සේවනය කිරීමෙහි තෘප්තියක් නැත.”
3. 3. 1. 7. චිත්තරක්ඛණ සූත්‍රය
7. “එකල්හි අනේපිඬු සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හිඳගත්තේය. එක් පසෙක හිඳගත් අනේපිඬු ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ගෘහපතිය, සිත නොරැකි කල්හි කාය කර්‍මයද නොරක්නා ලද්දේය, වාක් කර්‍මයද නොරක්නා ලද්දේය. මනො කර්‍මයද නොරක්නා ලද්දේය.
“නොරක්නා ලද කාය කර්‍මය ඇති, නොරක්නා ලද වාක් කර්‍මය ඇති, නොරක්නා ලද මනො කර්‍මය ඇති ඔහුගේ කාය කර්‍මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. වාක් කර්මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. මනො කර්‍මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. ඒ තෙත්වූ කාය කර්‍මය ඇති, තෙත්වූ වාක් කර්‍මය ඇති, තෙත්වූ මනො කර්‍මය ඇති, කාය කර්‍මද කුණුවූයේ වෙයි. වාක් කර්‍මද කුණුවූයේ වෙයි. මනො කර්‍මද කුණුවූයේ වෙයි. කුණුවූ කාය කර්ම ඇති, කුණුවූ වාක් කර්‍ම ඇති, කුණුවූ මනො කර්‍ම ඇති ඔහුගේ මරණය යහපත් නොවේ. යහපත් කාලක්‍රියාවක් නොවේ.
“ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලි නොකළ කල්හි මුදුනද නොරැකුණේ වෙයි. පරාළද නොරැකුණාහු වෙති. භික්තිද නොරැකුණාහු වෙති. මුදුනද තෙත්වූයේ වෙයි. පරාලද තෙත්වූවාහු වෙත්. භික්තිද තෙත්වූවාහු වෙත්. මුදුනද කුණුවූයේ වෙයි. පරාලද කුණුවූවාහු වෙත්. භික්තිද කුණුවූවාහු වෙත්.
“ගෘහපතිය, එසේම සිත නොරැකි කල්හි කාය කර්‍මද නොරැකුණේ වෙයි. වාක් කර්‍මද නොරැකුණේ වෙයි. මනො කර්‍මද නොරැකුණේ වෙයි. නොරක්නා ලද කාය කර්‍මය ඇති, නොරක්නා ලද වාක් කර්‍මය ඇති, නොරක්නා ලද මනො කර්‍මය ඇති ඔහුගේ කාය කර්‍මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. වාක් කර්මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. මනො කර්‍මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. ඒ තෙත්වූ කාය කර්‍මය ඇති, තෙත්වූ වාක් කර්‍මය ඇති, තෙත්වූ මනො කර්‍මය ඇති, ඔහුගේ කාය කර්මද කුණුනොවූයේ වෙයි. වාක් කර්මද කුණුනොවූයේ වෙයි. මනො කර්මද කුණුනොවූයේ වෙයි. කුණු නොවූ කාය කර්ම ඇති, කුණු නොවූ වාක් කර්ම ඇති, කුණුනොවූ මනො කර්ම ඇති ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි.
“ගෘහපතිය, සිත රැකි කල්හි කායකර්‍මද රැකුණේ වෙයි. වාක්කර්මද රැකුණේ වෙයි. මනොකර්මද රැකුණේ වෙයි. රැකුණ කායකර්ම ඇති, රැකුණ වාක්කර්ම ඇති, රැකුණ මනොකර්ම ඇති ඔහුගේ කායකර්මද තෙත් නොවූයේ වෙයි. වාක්කර්මද තෙත් නොවූයේ වෙයි. මනොකර්මද තෙත් නොවූයේ වෙයි. තෙත්නොවූ කායකර්ම ඇති, තෙත් නොවූ වාක්කර්ම ඇති, තෙත් නොවූ මනොකර්ම ඇති, ඔහුගේ කායකර්මද කුණු නොවූයේ වෙයි. වාක්කර්මද කුණු නොවූයේ වෙයි. මනොකර්‍මද කුණු නොවූයේ වෙයි. කුණු නොවූ කායකර්ම ඇති, කුණු නොවූ වාක්කර්ම ඇති, කුණු නොවූ මනොකර්ම ඇති ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි..
“ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලිකළ කල්හි මුදුණද රැකුණේ වෙයි. පරාළද රැකුණේ වෙයි.. භිත්තිද රැකුණේ වෙයි.. මුදුනද තෙත් නොවූයේ වෙයි. පරාලද තෙත් නොවූයේ වෙයි. භික්තිද තෙත් නොවූයේ වෙයි. මුදුනද කුණු නොවූයේ වෙයි. පරාලද කුණු නොවූයේ වෙයි. භික්තිද කුණු නොවූයේ වෙයි.