3. 2. 5. 7. තතිය අස්සාජානි සූත්‍රය
99. “මහණෙනි, අඞ්ග තුනකින් යුත් යහපත්වූ රජහුගේ අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි. රජහුගේ අඞ්ගයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි.
“කවර අඞ්ග තුනෙකින්ද?
මහණෙනි, මෙහි රජහුගේ යහපත්වූ අජානීය අශ්ව තෙම වර්‍ණයෙන් යුක්තවූයේ වෙයිද, බලයෙන් යුක්තවූයේ වෙයිද, ජවයෙන් යුක්තවූයේ වෙයිද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් රජහුගේ යහපත් අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි. රජහුගේ අඞ්ගයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි.
“මහණෙනි, එසේම ධර්‍ම තුනකින් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රය වෙයි.
“කවර තුනකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම වර්‍ණයෙන් යුක්ත වූයේද වෙයි. බලයෙන් යුක්තවූයේද වෙයි. ජවයෙන් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම වර්‍ණයෙන් යුක්තවූයේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත්වූයේ, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවරවූයේ, ආචාර ගෝචර දෙකින් යුක්තව වාසය කරයිද, කුඩා වරදෙහිද භය දකිමින් ශික්‍ෂාපයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ වර්ණයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහන තෙමේ බලයෙන් යුක්තවූයේ වෙයිද?
මහණෙනි, මේ ශාසනයෙහි මහන තෙමේ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිසත්, කුශල ධර්‍මයන්ගේ වැඩීම පිණිසත්, පටන්ගන්නා ලද වීර්‍ය්‍යයෙන් යුක්තව, දැඩි වීර්‍ය්‍යයෙන් යුක්තව, දෘඪ පරාක්‍රමයෙන් යුක්තව, කුසල ධර්‍මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ බලයෙන් යුක්ත වූයේ වෙයි.
“මහණෙනි, කෙසේනම් මහණ තෙම ජවයෙන් යුක්තවූයේ වෙයිද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ, අර්‍හත්ඵල සමාධියත්, අර්‍හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහි තෙමේම විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට දැන, ඊට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ජවයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රය වේය” යි වදාළ සේක.
3. 2. 5. 8. පොත්‍ථකූපම සූත්‍රය
100. “මහණෙනි, අලුත්වූ වැහැරි වස්ත්‍රයද දුර්‍වර්‍ණ වූයේද, කෲර ස්පර්‍ශය ඇත්තේද, නොවටින්නේද වෙයි. මහණෙනි, මධ්‍යම තරමේ කල් ගතවූ වැහැරි වස්ත්‍රයද, දුර්වර්ණ වූයේත්, කෲර ස්පර්‍ශය ඇත්තේත්, නොවටින්නේත් වෙයි. මහණෙනි, පරණවූ වැහැරි වස්ත්‍රයද, දුර්වර්ණ වූයේත්, කෲර ස්පර්‍ශය ඇත්තේත්, නොවටින්නේත් වෙයි.
“මහණෙනි, පරණවූ වැහැරි වස්ත්‍රය හැළිවලන් පිසින්නක් හෝ කරත්. කසළ ගොඩෙහි හෝ දමත්.
“මහණෙනි, එසේම නවක භික්‍ෂු තෙමේද, දුශ්ශිලවූයේ, ලාමක ස්වභාවය ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ දුර්වර්ණ තාවයයි කියමි. මහණෙනි, ඒ වැහැරි වස්ත්‍රය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. මහණෙනි, යම් කෙනෙක් ඔහු සේවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද, අනුගමනය කරද්ද, ඔවුන්ට එය බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. මෙය ඔහුගේ කෲර ස්පර්‍ශයයි කියමි. මහණෙනි, යම්සේ වැහැරි වස්ත්‍රය කෲර ස්පර්‍ශ ඇත්තේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. යමෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය බෙහෙත් පිරිකර පිළිගනියි නම් ඔවුන්ට එය මහත්ඵල ඇත්තේත් නොවෙයි. මහත් ආනිසංස ඇත්තේත් නොවෙයි. මෙය ඔහුගේ නොවටිනා බවයයි කියමි. මහණෙනි, යම්සේ ඒ වැහැරි වස්ත්‍රය නොවටින්නේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමාකොට කියමි.
“මහණෙනි, මධ්‍යම භික්‍ෂු තෙමේද දුශ්ශිලවූයේ, ලාමක ස්වභාවය ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ දුර්වර්ණ තාවයයි කියමි. මහණෙනි, ඒ වැහැරි වස්ත්‍රය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. මහණෙනි, යම් කෙනෙක් ඔහු සේවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද, අනුගමනය කරද්ද, ඔවුන්ට එය බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. මෙය ඔහුගේ කෲර ස්පර්‍ශයයි කියමි. මහණෙනි, යම්සේ වැහැරි වස්ත්‍රය කෲර ස්පර්‍ශ ඇත්තේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. යමෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය බෙහෙත් පිරිකර පිළිගනියි නම් ඔවුන්ට එය මහත්ඵල ඇත්තේත් නොවෙයි. මහත් ආනිසංස ඇත්තේත් නොවෙයි. මෙය ඔහුගේ නොවටිනා බවයයි කියමි. මහණෙනි, යම්සේ ඒ වැහැරි වස්ත්‍රය නොවටින්නේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමාකොට කියමි. මහණෙනි, ස්ථවිර භික්‍ෂු තෙමේද, දුශ්ශිලවූයේ, ලාමක ස්වභාවය ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ දුර්වර්ණ තාවයයි කියමි. මහණෙනි, ඒ වැහැරි වස්ත්‍රය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. මහණෙනි, යම් කෙනෙක් ඔහු සේවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද, අනුගමනය කරද්ද, ඔවුන්ට එය බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. මෙය ඔහුගේ කෲර ස්පර්‍ශයයි කියමි. මහණෙනි, යම්සේ වැහැරි වස්ත්‍රය කෲර ස්පර්‍ශ ඇත්තේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. යමෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය බෙහෙත් පිරිකර පිළිගනියි නම් ඔවුන්ට එය මහත්ඵල ඇත්තේත් නොවෙයි. මහත් ආනිසංස ඇත්තේත් නොවෙයි. මෙය ඔහුගේ නොවටිනා බවයයි කියමි. මහණෙනි, යම්සේ ඒ වැහැරි වස්ත්‍රය නොවටින්නේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමාකොට කියමි.
“මහණෙනි, මෙබඳුවූ ස්ථවිර භික්‍ෂුතෙම සංඝයා මධ්‍යයෙහි කථාකරයිද, ඔහුට භික්‍ෂූහු ‘බාලවූ, අව්‍යක්තවූ ඔබගේ කීමෙන් කිනම් අර්‍ථයෙක්ද? ඔබත් කියයුත්තෙකු කොට හඟින්නෙහිදැ’ යි කියන්නාහුය. කිපුණාවූ, නොසතුටුවූ සිත් ඇත්තාවූ හෙතෙම යම් වචනයකින් සඞඝතෙම වැහැරි වස්ත්‍රය කසල ගොඩට දමන්නාක් මෙන් ඔහු බැහැර කරන්නේද එබඳු වචනයක් කියයි.
මහණෙනි, අලුත්වූද කසී වස්ත්‍රය වර්‍ණයෙන් යුක්තවූයේද, සැප ස්පර්‍ශයෙන් යුක්ත වූයේද, බොහෝ වටින්නේද වෙයි. මහණෙනි, මධ්‍යමවූ කසී වස්ත්‍රයද වර්‍ණයෙන් යුක්තවූයේද, සැප ස්පර්‍ශයෙන් යුක්තවූයේද, බොහෝ වටින්නේද වෙයි. මහණෙනි, පරණවූ කසී වස්ත්‍රයද වර්‍ණයෙන් යුක්තවූයේද, සැප ස්පර්‍ශයෙන් යුක්තවූයේද, බොහෝ වටින්නේද වෙයි. මහණෙනි, පරණවූ ද කසී සලුව රත්න වේලන්නක හෝ කරත්. සුවඳ කරඬුවෙහි හෝ තැනපත් කරත්.