(10) 5. ලෝණඵල වර්ගය
1. අච්චායික කරණීය සූත්රය
[සැවැත් නුවර නිදානයි]
93. “මහණෙනි, ගෘහපති ගොවියා විසින් ඉක්මනින් කළ යුතුවූ වැඩ තුනක් වෙත්.
කවර තුනක්ද යත්?
මහණෙනි, ගෘහපති ගොවි තෙමේ කෙත වහ වහා මනාව සාන්නේ වෙයි. වහ වහා මනාව සමතලා කරන්නේ වෙයි. වහ වහා සී සා, වහ වහා සමතලා කොට, වහ වහා බීජ වපුරන්නේ වෙයි. වහ වහා බීජ වපුරා, වහ වහා වතුර බඳින්නේද, වතුර හරින්නේ ද වෙයි. මහණෙනි, මේ ගොවි ගෘහපතියා විසින් ඉක්මනින් කටයුතුවූ වැඩ තුන වෙත්.
“මහණෙනි, ඒ ගෘහපති ගොවියාහට, ‘මාගේ ධන්ය අදම පැළ වෙත්වා, හෙට ගැබ් ගනිත්වා, අනිද්දා පැසෙත්වා’ යි ඎද්ධියක් හෝ ආනුභාවයක් හෝ නැත. යම් කලෙක ඒ ගෘහපති ගොවියාගේ ඒ ධාන්ය ඎතු පරිණාමයට පැමිණ පැළවන්නේත්, ගැබ් ගන්නේත්, පැසෙන්නේත් වෙයිද, එබඳු කාලයක් ඇත්තේය.
“මහණෙනි, එසේම භික්ෂුව විසින් ඉක්මනින් කළ යුතුවූ වැඩ තුනක් වෙත්.
කවර තුනක්ද?
අධිහීල ශික්ෂා සමාදානයද, අධිචිත්ත ශික්ෂා සමාදානයද, අධිප්රඥා ශික්ෂා සමාදානයද වෙයි. මහණෙනි, මේ භික්ෂුව විසින් ඉක්මනින් කළ යුතු තුන වෙත්.
“මහණෙනි, ඒ භික්ෂුවට, ‘අදම හෝ හෙටම හෝ අනිද්දාම හෝ මාගේ සිත ආශ්රවයන් කෙරෙන් මිදේවා’ යි ඎද්ධියක් හෝ ආනුභාවයක් හෝ නැත. මහණෙනි, හුදෙක් යම් කලෙක අධිශීලයෙහි හික්මෙන්නාවූද, අධිචිත්තයෙහි හික්මෙන්නාවූද, අධිප්රඥාවෙහි හික්මෙන්නාවූද, ඒ භික්ෂුවගේ සිත ආශ්රවයන් කෙරෙන් මිදෙයිද, එබඳු කාලයක් ඇත්තේය.
“මහණෙනි, එහෙයින් අධිශීල ශික්ෂා සමාදානයෙහි මාගේ බලවත් කැමැත්ත වන්නේය. අධිචිත්ත ශික්ෂා සමාදානයෙහි මාගේ බලවත් කැමැත්ත වන්නේය. අධිප්රඥා ශික්ෂා සමාදානයෙහි මාගේ බලවත් කැමැත්ත වන්නේයයි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
2. පවිවෙකත්ත සූත්රය
94. “මහණෙනි, අන්ය තීර්ථක පරිබ්රාජකයෝ විවේක තුනක් පනවත්.
කවර තුනක්ද යත්?
චීවර පවිවේකය, (සිවුරෙහි ආසාවෙන් වෙන්වීම), පිණ්ඩපාත පවිවේකය, (ආහාරයෙහි ආශාවෙන් වෙන්වීම), සේනාසන පවිවේකය (සෙනසුනෙහි ආශාවෙන් වෙන්වීම) යන මේ තුනය.
“මහණෙනි, එයින් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ මෙය චීවර පවිවේකයෙහි පනවත්. හන වැහැරිද දරත්. හන මිශ්ර වස්ත්රද දරත්. මල සිරුරුවලින් ඉවත් කරණ ලද වස්ත්රද දරත්. බිම විසිකර දමන ලද වස්ත්රද, රුක් පතුරුද දරත්. දිවි සම්ද දරත්. මැදින් පලන ලද කුර සහිත දිවි සම්ද දරත්. කුසතණ වැහැරිද දරත්. දුහුල් වැහැරිද දරත්. ලෑලි තීරුද දරත්. හිසකේ වලින කළ වස්ත්රද දරත්. අස් ලොමින් කළ වස්ත්රද දරත්. බකමූණු පිහාටුද දරත්. මහණෙනි, මෙය අන්ය තීර්ථක පරිබ්රාජකයෝ චීවර පවිවේකයෙහි පනවත්.
“මහණෙනි, අන්ය තීර්ථක පරිබ්රාජකයෝ මෙය පිණ්ඩපාත විවේකයෙහි පණවත්. අමුකොළ කන්නාහුද වෙත්. බඩ හාමු කන්නාහුද වෙත්. ඉබේට හැදුණ වී වර්ග කන්නාහුද වෙත්. සම් කුඩු කන්නාහුද වෙත්. රුක් මැලියන් කන්නාහුද වෙත්. වී කුඩු කන්නාහුද වෙත්. දංකුඩ කන්නාහුද වෙත්. පුනක්කු කන්නාහුද වෙත්. තෘණ කන්නාහුද වෙත්. ගොම කන්නාහුද වෙත්. වනමුල් ගෙඩි කන්නාහුද වෙත්. මහණෙනි, අන්ය තීර්ථක පරිබ්රාජකයෝ මෙය පිණ්ඩපාත විවේකයෙහි පනවත්.
“මහණෙනි, අන්ය තීර්ථක පරිබ්රාජකයෝ මෙය සේනාසන විවේකයෙහි පනවත්. අරණ්යයය, රුක්මුලය, සොහොනය, ගමට දුර කැලයය, එළිමහණ, පිදුරු ගොඩ, කමත යන මේයි. මහණෙනි, මෙය අන්ය තීර්ථක පරිබ්රාජකයෝ සේනාසන විවේකයෙහි පනවත්.
මහණෙනි, අන්ය තීර්ථක පරිබ්රාජකයෝ මේ විවේක තුන පනවත්.
“මහණෙනි, මේ ධර්ම විනය සංඛ්යාත ශාසනයෙහි භික්ෂුවට විවේක තුනක් වෙත්.
කවර තුනක්ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත් වේද, ඔහු විසින් දුස්සීල බව පහකරණ ලද්දේ වෙයිද, එයින් වෙන්වූයේ වෙයිද, සම්යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහු විසින් මිත්යාදෘෂ්ටිය පහ කරණ ලද්දේ වෙයිද, එයින් වෙන් වූයේ වෙයිද, ක්ෂය කරණ ලද ආශ්රව ඇත්තේ වෙයිද, ඔහු විසින් ආශ්රවයෝ පහ කරණ ලද්දාහු වෙත්ද, එයින් වෙන්වූයේ වෙයිද,
මහණෙනි, මේ මහණ තෙම සීලයෙන් කෙළවරට පැමිණියේ යයිද, සීල සාරයට පැමිණියේ යයිද, පිරිසිදු වූයේ යයිද, සීල, සමාධි ප්රඥා සාරයෙහි පිහිටියේ යයිද, කියනු ලැබේ.