3. සරදසුත්තං
95. “මහණෙනි, යම් සේ සරත් ඎතුවෙහි අහස පිරිසිදු වූ කල්හි, පහවූ වළාකුල් ඇති කල්හි, අහස මැදට පැමිණි සූර්‍ය්‍යයා අහසෙහි සියලු අඳුරු දුරුකොට ආලෝක කරන්නේද, තවන්නේද, බබලන්නේද වෙයි.
මහණෙනි, එසේම යම් විටෙක ආර්‍ය්‍ය ශ්‍රාවකයාහට කෙළෙස් රජස් රහිතවූ, කෙළස් මල දුරුවූ ධර්‍ම චක්‍ෂුස (සෝවාන් මාර්‍ග ඥානය) පහළ වූයේද, මහණෙනි, ඒ සෝවාන් මාර්‍ග ඥානය පහළවීම සමගම ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන පහවෙත්.
“ඉන් පසුව අභිද්‍යාවෙන්ද, ව්‍යාපාදයෙන්ද, යන ධර්‍ම දෙකින් එතර වෙයි. හෙතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුසලයන්ගෙන් වෙන්වම, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ආර්‍ය්‍ය ශ්‍රවක තෙම කාලක්‍රියා කරන්නේ නම් යම් සංයෝජනයකින් බැඳුනු ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නැවත මේ ලෝකයට පැමිණෙන්නේ නම් ඔහුට එබඳු සංයෝජනයක් නැත්තේය.
3. අග්ගවතී (හෝ) පරිසත්තය සූත්‍රය
96. “මහණෙනි, මේ පිරිස් තුනකි. කවර තුනක්ද? අග්‍රවූ පිරිසය, වර්‍ග (භෙද) වූ පිරිසය, සමගි පිරිසය යනුයි.
“මහණෙනි, අග්‍රවූ පිරිස නම් කවරීද?
මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසක ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍ය බහුලකොට ඇත්තෝ නොවෙත්ද, ශාසනය ලිහිල්කොට ගත්තෝ නොවෙත්ද, නීවරණයන්හි බහා තබන ලද බර ඇත්තාහු වෙත්ද, ත්‍රිවිධ විවේකය පෙරටු කොට ඇත්තාහු වෙත්ද, නොපැමිණි ගුණයන්ට පැමිණීම පිණිසද, අවබෝධ නොකළ ගුණයන් අවබෝධ කරණු පිණිසද, ප්‍රත්‍යක්‍ෂ නොකළ ගුණයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසද, වීර්‍ය්‍ය කරන්නේ වෙයිද, ඔවුන්ගේ පසු ජනතාව ඔවුන් අනුව යන්නීය. පසු ජනතාවද ප්‍රත්‍ය බහුලකොට ඇත්තී නොවෙයි. ශාසනය ලිහිල් කොට ගන්නී නොවෙයි. නීවරණයන්හි බහා තබන ලද බර ඇත්තී වෙයි. විවේකය පෙරටු කොට ඇත්තී වෙයි. නොපැමිණි ගුණයන්ට පැමිණීම පිණිසත්, අවබෝධ නොකළ ගුණයන් අවබෝධ කිරීම පිණිසත්, ප්‍රත්‍යක්‍ෂ නොකළ ගුණයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසත්, වීර්‍ය්‍යය කරහි. මහණෙනි, මේ අග්‍ර පිරිස යයි කියනු ලැබේ.
“මහණෙනි, වර්‍ග පිරිස නම් කවරීද?
මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසක් භික්‍ෂූහු හටගත් ඩබර ඇතිව, හටගත් කලහ ඇතිව, විරුද්ධ වාදයට පැමිණ, ඔවු නොවුන් වචන නමැති ආවුධවලින් විද ගනිමින්, වාසය කෙරෙද්ද, මහණෙනි, මේ වර්‍ග පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, සමගි පිරිස නම් කවරීද?
මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසක භික්‍ෂූහු සමගිව සතුටු වෙමින්, විවාද නොකරමින්, කිරිත්, වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරත්ද, මහණෙනි, මේ පිරිස සමගි පිරිස යයි කියනු ලැබේ..
“මහණෙනි, යම් කලෙක භික්‍ෂූහු සමගිව, සතුටුව, විවාද නොකරමින්, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරද්ද, මහණෙනි, එකල්හි භික්‍ෂූහු බොහෝ පින් රැස් කරත්. මහණෙනි, එකල්හි යම් මුදිතා විත්ත සමාධියක් වේද, ඒ මුදිතා චිත්ත සමාධියයයි කියන ලද බ්‍රහ්ම විහරණයෙන් යුක්තව වාසය කරත්. මුදිතායෙන් සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි. සැපවත්වූවහුගේ සිත සමාධියට පැමිණෙයි.
“මහණෙනි, මෙසේ කඳුකරයෙහි මහපොද ඇති වැසි වස්නා කල්හි ඒ ජලය පහත් තැන් කරා ගලා යන්නේ කඳුරැලි ඇල දොළ පිරීයන්නේද, කඳුරැලි ඇල දොළ පිරී යාමෙන් කුඩා පතස් පිරෙයිද, කුඩා පතස් පිරීමෙන් මහ පතස් පිරෙයිද, මහ පතස් පිරීමෙන් කුඩා ගංගා පිරෙයිද, කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙයිද, මහ ගංගා පිරීමෙන් සමුද්‍රය පිරෙයිද, මහණෙනි, එපරිද්දෙන් යම් කලෙක භික්‍ෂූහු සමගිව, සතුටුව, විවාද නොකරමින්, කිරිත් දියත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය චක්‍ෂුසින් බලමින් වාසය කරත්ද, මහණෙනි, එකල්හි භික්‍ෂූහු බොහෝ පින් රැස් කරත්. මහණෙනි, එකල්හි භික්‍ෂූහු යම් මුදිතා සමාධියක් ඇත්නම් ඒ මුදිතා බ්‍රහ්ම විහරණයෙන් යුක්තව වාසය කරයි. මුදිතාවෙන් යුක්ත වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීතියෙන් යුක්තවූවහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි.
මහණෙනි, මේ වනාහි තුන් පිරිස වේයයි වදාළ සේක.