3. අග්ගවතී (හෝ) පරිසත්තය සූත්රය
96. “මහණෙනි, මේ පිරිස් තුනකි. කවර තුනක්ද? අග්රවූ පිරිසය, වර්ග (භෙද) වූ පිරිසය, සමගි පිරිසය යනුයි.
“මහණෙනි, අග්රවූ පිරිස නම් කවරීද?
මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසක ස්ථවිර භික්ෂූහු ප්රත්ය බහුලකොට ඇත්තෝ නොවෙත්ද, ශාසනය ලිහිල්කොට ගත්තෝ නොවෙත්ද, නීවරණයන්හි බහා තබන ලද බර ඇත්තාහු වෙත්ද, ත්රිවිධ විවේකය පෙරටු කොට ඇත්තාහු වෙත්ද, නොපැමිණි ගුණයන්ට පැමිණීම පිණිසද, අවබෝධ නොකළ ගුණයන් අවබෝධ කරණු පිණිසද, ප්රත්යක්ෂ නොකළ ගුණයන් ප්රත්යක්ෂ කිරීම පිණිසද, වීර්ය්ය කරන්නේ වෙයිද, ඔවුන්ගේ පසු ජනතාව ඔවුන් අනුව යන්නීය. පසු ජනතාවද ප්රත්ය බහුලකොට ඇත්තී නොවෙයි. ශාසනය ලිහිල් කොට ගන්නී නොවෙයි. නීවරණයන්හි බහා තබන ලද බර ඇත්තී වෙයි. විවේකය පෙරටු කොට ඇත්තී වෙයි. නොපැමිණි ගුණයන්ට පැමිණීම පිණිසත්, අවබෝධ නොකළ ගුණයන් අවබෝධ කිරීම පිණිසත්, ප්රත්යක්ෂ නොකළ ගුණයන් ප්රත්යක්ෂ කිරීම පිණිසත්, වීර්ය්යය කරහි. මහණෙනි, මේ අග්ර පිරිස යයි කියනු ලැබේ.
“මහණෙනි, වර්ග පිරිස නම් කවරීද?
මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසක් භික්ෂූහු හටගත් ඩබර ඇතිව, හටගත් කලහ ඇතිව, විරුද්ධ වාදයට පැමිණ, ඔවු නොවුන් වචන නමැති ආවුධවලින් විද ගනිමින්, වාසය කෙරෙද්ද, මහණෙනි, මේ වර්ග පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, සමගි පිරිස නම් කවරීද?
මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසක භික්ෂූහු සමගිව සතුටු වෙමින්, විවාද නොකරමින්, කිරිත්, වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්රිය ඇසින් බලමින් වාසය කරත්ද, මහණෙනි, මේ පිරිස සමගි පිරිස යයි කියනු ලැබේ..
“මහණෙනි, යම් කලෙක භික්ෂූහු සමගිව, සතුටුව, විවාද නොකරමින්, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්රිය ඇසින් බලමින් වාසය කරද්ද, මහණෙනි, එකල්හි භික්ෂූහු බොහෝ පින් රැස් කරත්. මහණෙනි, එකල්හි යම් මුදිතා විත්ත සමාධියක් වේද, ඒ මුදිතා චිත්ත සමාධියයයි කියන ලද බ්රහ්ම විහරණයෙන් යුක්තව වාසය කරත්. මුදිතායෙන් සතුටු වූවහුට ප්රීතිය උපදියි. ප්රීති සිත් ඇත්තාහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි. සැපවත්වූවහුගේ සිත සමාධියට පැමිණෙයි.
“මහණෙනි, මෙසේ කඳුකරයෙහි මහපොද ඇති වැසි වස්නා කල්හි ඒ ජලය පහත් තැන් කරා ගලා යන්නේ කඳුරැලි ඇල දොළ පිරීයන්නේද, කඳුරැලි ඇල දොළ පිරී යාමෙන් කුඩා පතස් පිරෙයිද, කුඩා පතස් පිරීමෙන් මහ පතස් පිරෙයිද, මහ පතස් පිරීමෙන් කුඩා ගංගා පිරෙයිද, කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙයිද, මහ ගංගා පිරීමෙන් සමුද්රය පිරෙයිද, මහණෙනි, එපරිද්දෙන් යම් කලෙක භික්ෂූහු සමගිව, සතුටුව, විවාද නොකරමින්, කිරිත් දියත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්රිය චක්ෂුසින් බලමින් වාසය කරත්ද, මහණෙනි, එකල්හි භික්ෂූහු බොහෝ පින් රැස් කරත්. මහණෙනි, එකල්හි භික්ෂූහු යම් මුදිතා සමාධියක් ඇත්නම් ඒ මුදිතා බ්රහ්ම විහරණයෙන් යුක්තව වාසය කරයි. මුදිතාවෙන් යුක්ත වූවහුට ප්රීතිය උපදියි. ප්රීතියෙන් යුක්තවූවහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි.
මහණෙනි, මේ වනාහි තුන් පිරිස වේයයි වදාළ සේක.
5. අස්සාජානි සූත්රය
97. “මහණෙනි, අඞ්ග තුනකින් යුත් යහපත්වූ රජහුගේ අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි. රජහුගේ අඞ්ගයෙක යන සංඛ්යාවට පැමිණෙයි.
“කවර අඞ්ග තුනෙකින්ද?
මහණෙනි, මෙහි රජහුගේ යහපත්වූ අජානීය අශ්ව තෙම වර්ණයෙන් යුක්තවූයේ වෙයිද, බලයෙන් යුක්තවූයේ වෙයිද, ජවයෙන් යුක්තවූයේ වෙයිද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් රජහුගේ යහපත් අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි.
“මහණෙනි, එසේම ධර්ම තුනකින් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ ප්රත්යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්රත්යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්ය ක්ෂෙත්රය වෙයි.
“කවර තුනකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම වර්ණයෙන් යුක්ත වූයේද වෙයි. බලයෙන් යුක්තවූයේද වෙයි. ජවයෙන් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම වර්ණයෙන් යුක්තවූයේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත්වූයේ, ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවරවූයේ, ආචාර ගෝචර දෙකින් යුක්තව වාසය කරයිද, කුඩා වරදෙහිද භය දකිමින් ශික්ෂාපයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ වර්ණයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහන තෙමේ බලයෙන් යුක්තවූයේ වෙයිද?
මහණෙනි, මේ ශාසනයෙහි මහන තෙමේ අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිසත්, කුශල ධර්මයන්ගේ වැඩීම පිණිසත්, පටන්ගන්නා ලද වීර්ය්යයෙන් යුක්තව, දැඩි වීර්ය්යයෙන් යුක්තව, දෘඪ පරාක්රමයෙන් යුක්තව, කුසල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ බලයෙන් යුක්ත වූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ජවයෙන් යුක්ත වූයේ වෙයිද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්වාකාරයෙන් දනීද, මෙය දුකට හේතුවයයි තත්වාකාරයෙන් දනීද, මෙය දුක නැතිකිරීමයයි තත්වාකාරයෙන් දනීද, මෙය දුක් නැතිකිරීමේ මාර්ගයයයි තත්වාකාරයෙන් දනීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ජවයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ ප්රත්යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්රත්යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්ය ක්ෂෙත්රය වේය” යි වදාළ සේක.