2. පවිවෙකත්ත සූත්රය
94. “මහණෙනි, අන්ය තීර්ථක පරිබ්රාජකයෝ විවේක තුනක් පනවත්.
කවර තුනක්ද යත්?
චීවර පවිවේකය, (සිවුරෙහි ආසාවෙන් වෙන්වීම), පිණ්ඩපාත පවිවේකය, (ආහාරයෙහි ආශාවෙන් වෙන්වීම), සේනාසන පවිවේකය (සෙනසුනෙහි ආශාවෙන් වෙන්වීම) යන මේ තුනය.
“මහණෙනි, එයින් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ මෙය චීවර පවිවේකයෙහි පනවත්. හන වැහැරිද දරත්. හන මිශ්ර වස්ත්රද දරත්. මල සිරුරුවලින් ඉවත් කරණ ලද වස්ත්රද දරත්. බිම විසිකර දමන ලද වස්ත්රද, රුක් පතුරුද දරත්. දිවි සම්ද දරත්. මැදින් පලන ලද කුර සහිත දිවි සම්ද දරත්. කුසතණ වැහැරිද දරත්. දුහුල් වැහැරිද දරත්. ලෑලි තීරුද දරත්. හිසකේ වලින කළ වස්ත්රද දරත්. අස් ලොමින් කළ වස්ත්රද දරත්. බකමූණු පිහාටුද දරත්. මහණෙනි, මෙය අන්ය තීර්ථක පරිබ්රාජකයෝ චීවර පවිවේකයෙහි පනවත්.
“මහණෙනි, අන්ය තීර්ථක පරිබ්රාජකයෝ මෙය පිණ්ඩපාත විවේකයෙහි පණවත්. අමුකොළ කන්නාහුද වෙත්. බඩ හාමු කන්නාහුද වෙත්. ඉබේට හැදුණ වී වර්ග කන්නාහුද වෙත්. සම් කුඩු කන්නාහුද වෙත්. රුක් මැලියන් කන්නාහුද වෙත්. වී කුඩු කන්නාහුද වෙත්. දංකුඩ කන්නාහුද වෙත්. පුනක්කු කන්නාහුද වෙත්. තෘණ කන්නාහුද වෙත්. ගොම කන්නාහුද වෙත්. වනමුල් ගෙඩි කන්නාහුද වෙත්. මහණෙනි, අන්ය තීර්ථක පරිබ්රාජකයෝ මෙය පිණ්ඩපාත විවේකයෙහි පනවත්.
“මහණෙනි, අන්ය තීර්ථක පරිබ්රාජකයෝ මෙය සේනාසන විවේකයෙහි පනවත්. අරණ්යයය, රුක්මුලය, සොහොනය, ගමට දුර කැලයය, එළිමහණ, පිදුරු ගොඩ, කමත යන මේයි. මහණෙනි, මෙය අන්ය තීර්ථක පරිබ්රාජකයෝ සේනාසන විවේකයෙහි පනවත්.
මහණෙනි, අන්ය තීර්ථක පරිබ්රාජකයෝ මේ විවේක තුන පනවත්.
“මහණෙනි, මේ ධර්ම විනය සංඛ්යාත ශාසනයෙහි භික්ෂුවට විවේක තුනක් වෙත්.
කවර තුනක්ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත් වේද, ඔහු විසින් දුස්සීල බව පහකරණ ලද්දේ වෙයිද, එයින් වෙන්වූයේ වෙයිද, සම්යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහු විසින් මිත්යාදෘෂ්ටිය පහ කරණ ලද්දේ වෙයිද, එයින් වෙන් වූයේ වෙයිද, ක්ෂය කරණ ලද ආශ්රව ඇත්තේ වෙයිද, ඔහු විසින් ආශ්රවයෝ පහ කරණ ලද්දාහු වෙත්ද, එයින් වෙන්වූයේ වෙයිද,
මහණෙනි, මේ මහණ තෙම සීලයෙන් කෙළවරට පැමිණියේ යයිද, සීල සාරයට පැමිණියේ යයිද, පිරිසිදු වූයේ යයිද, සීල, සමාධි ප්රඥා සාරයෙහි පිහිටියේ යයිද, කියනු ලැබේ.
“මහණෙනි, ගෘහපති ගොවියාගේ පැසුණාවූ හාල් කෙතක් වේද, ගෘහපති ගොවිතෙම වහ වහා සිඳුවන්නේය. වහ වහා සිඳුවා, වහ වහා එකතු කරවන්නේය. වහ වහා එකතු කරවා, වහ වහා කමතෙහි රැස් කරවන්නේය. වහ වහා කමතෙහි රැස් කරවා, වහ වහා කොළ ගස්වන්නේය. වහ වහා කොළ ගස්වා, මඩවන්නේය. වහ වහා මඩවා, මැඩුවන් බාන්නේය. වහ වහා මැඩුවන් බා, වහ වහා බොල් පොලා හරින්නේය. වහ වහා බොල් පොලා හැර, වහ වහා අටු කොටු වලට ගෙන්වන්නේය. වහ වහා ගෙන්වා, වහ වහා කොටවන්නේය. වහ වහා කොටවා, වහ වහා පොතු ඉවත් කරන්නේය. මහණෙනි, ඒ ගෘහපති ගොවියාගේ ඒ ධාන්ය මෙසේ අග්ර බවට පැමිණියාහුද, සාර බවට පැමිණියාහුද, පිරිසිදුවූවාහුද, සාරයෙහි පිහිටියාහුද වෙත්.
“මහණෙනි, එසේ මහණ තෙමේ සිල්වත්වූයේ වෙයිද, ඔහු විසින් දුස්සීල බව පහ කරණ ලද්දේ වෙයිද, එයින් වෙන් වූයේ වෙයිද, සම්යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඔහු විසින් මිත්යා දෘෂ්ටිය පහ කරණ ලද්දේ වෙයිද, එයින් වෙන්වූයේ වෙයිද, ක්ෂය කරණ ලද ආශ්රවයන් ඇත්තේ වෙයිද, ඔහු විසින් ආශ්රවයෝ ක්ෂය කරණ ලද්දාහු වෙත්ද, එයින් වෙන්වූයේ වෙයිද, මහණෙනි, මේ මහණ තෙමේ අග්ර බවට පැමිණියේ යයිද, සාර බවට පැමිණියේ යයිද, පිරිසිදු වූයේ යයිද, සාරයෙහි පිහිටියේ යයිද කියනු ලැබේ.
3. සරදසුත්තං
95. “මහණෙනි, යම් සේ සරත් ඎතුවෙහි අහස පිරිසිදු වූ කල්හි, පහවූ වළාකුල් ඇති කල්හි, අහස මැදට පැමිණි සූර්ය්යයා අහසෙහි සියලු අඳුරු දුරුකොට ආලෝක කරන්නේද, තවන්නේද, බබලන්නේද වෙයි.
මහණෙනි, එසේම යම් විටෙක ආර්ය්ය ශ්රාවකයාහට කෙළෙස් රජස් රහිතවූ, කෙළස් මල දුරුවූ ධර්ම චක්ෂුස (සෝවාන් මාර්ග ඥානය) පහළ වූයේද, මහණෙනි, ඒ සෝවාන් මාර්ග ඥානය පහළවීම සමගම ඒ ආර්ය්ය ශ්රාවකයාගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන පහවෙත්.
“ඉන් පසුව අභිද්යාවෙන්ද, ව්යාපාදයෙන්ද, යන ධර්ම දෙකින් එතර වෙයි. හෙතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුසලයන්ගෙන් වෙන්වම, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ප්රථම ධ්යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ආර්ය්ය ශ්රවක තෙම කාලක්රියා කරන්නේ නම් යම් සංයෝජනයකින් බැඳුනු ආර්ය්ය ශ්රාවක තෙම නැවත මේ ලෝකයට පැමිණෙන්නේ නම් ඔහුට එබඳු සංයෝජනයක් නැත්තේය.