6. භව පඤ්හ සූත්‍රය
77. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. “ස්වාමීනි, භවය, භවය යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් භවය වේද?” යනුයි.
“ආනන්‍දය, කාම ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පැසෙන්නාවූ - විපාක බවට පැමිණෙන්නාවූ කර්‍මයක් නැත්නම් කාම භවයක් පෙනේද?”
“ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්‍දය, මෙසේ වනාහි කර්‍මය ක්‍ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය - ජලය - වෙයි. අවිද්‍යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුණාවූ සත්ත්‍වයන්ගේ විඤ්ඤාණය හීන ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි.
“ආනන්‍දය, මධ්‍යම ධාතුයයි කියනලද, රූප ලෝකයෙහි පැසෙන්නාවූ - විපාක බවට පැමිණෙන්නාවූ, කර්‍මයක් නැත්නම් රූප භවයක් පෙනේද?”
“ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්‍දය, මෙසේ වනාහි කර්‍මය ක්‍ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය - ජලය - වෙයි. අවිද්‍යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුණාවූ සත්ත්‍වයන්ගේ විඤ්ඤාණය මධ්‍යම ධාතුයයි කියනලද රූප ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි.
“ආනන්‍දය, අරූප ලෝකයෙහි පැසෙන්නාවූ කර්‍මයක් නැත්නම් අරූප භවය පෙනේද?”
“ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්‍දය, මෙසේ වනාහි කර්‍මය ක්‍ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය - ජලය - වෙයි. අවිද්‍යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුනාවූ සත්ත්‍වයන්ගේ විඤ්ඤාණය ප්‍රණීත ධාතුයයි කියනලද අරූප ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි. ආනන්‍දය, මෙසේ වනාහි භවය වේය” යි වදාළ සේක.
7. දුතිය භව පඤ්හ සූත්‍රය
78. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, භවය, භවය යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් භවය වේද?” යනුයි.
“ආනන්‍දය, කාම ධාතුවෙහි-කාම ලෝකයෙහි පැසෙන්නාවූ කර්‍මයක් නැත්නම් කාම භවයක් පෙනේද?”
“ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්‍දය, මෙසේ වනාහි කර්‍මය ක්‍ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තෘෂ්ණාව ස්නෙහය වෙයි. අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්ත්‍වයන්ගේ චෙතනාව හීන ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පිහිටියේ වෙයිද, ප්‍රාර්ථනාව පිහිටියේ වෙයිද, පුනර්භවයාගේ පහළවීම වෙයි.
“ආනන්‍දය, රූප ධාතුවෙහි පැසෙන්නාවූ කර්‍මයක් නැත්නම් රූප භවයක් පෙනේද?”
“ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්‍දය, මෙසේ වනාහි කර්‍මය ක්‍ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තෘෂ්ණාව ස්නෙහය වෙයි. අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්ත්‍වයන්ගේ චෙතනාව මධ්‍යම ධාතුයයි කියනලද රූප ලෝකයෙහි පිහිටියේ වෙයිද, ප්‍රාර්ථනාව පිහිටියේ වෙයිද, මෙසේ මත්තෙහි පුනර්භවයාගේ පහළවීම වෙයි.