(8) 3. ආනන්ද වර්ගය
1. ඡන්නපරිබ්බාජක සූත්රය
[සැවැත් නිදානය]
72. “මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආනන්ද ස්ථවිරයෝ සැවැත්නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ සිටියෝය. එකල්හි ඡන්න පරිබ්රාජක තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එක් පසෙක හිඳගත්තේය. එක් පසෙක හිඳගත් ඡන්න පරිබ්රාජක තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය :
“ඇවැත් ආනන්දයෙනි, ඔබ වහන්සේලාද රාගය පහ කිරීම පනවන්නාහුය. ද්වේෂය පහ කිරීම පනවන්නාහුය. මෝහය පහ කිරීම පනවන්නාහුය. ඇවැත්නි, අපිද රාගය පහ කිරීම පනවන්නෙමු. ද්වේෂය පහ කිරීම පනවන්නෙමු මෝහය පහ කිරීම පනවන්නෙමු. ඇවැත්නි, නුඹවහන්සේලා රාගයෙහි කිනම් ආදීනවයක් දැක රාගය පහකිරීම පනවන්නහුද, ද්වේෂයෙහි කිනම් ආදීනවයක් දැක ද්වේෂය පහකිරීම පනවන්නහුද, මෝහයෙහි කිනම් ආදීනවයක් දැක මෝහය පහකිරීම පනවන්නහුද?”
“ඇවැත්නි, රාගයෙන් ඇලුණාවූ, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කළ සිත් ඇත්තාවු පුද්ගලතෙම තමහට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. දෙදෙනාටම දුක් පිණිසද සිතයි. මානසිකවූද දුකක්, දොම්නසක් විඳියි. “රාගය පහවූ කල්හි, තමහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. දෙදෙනාටම දුක් පිණිසද නොසිතයි. “ඇවැත්නි, රාගයෙන් ඇලුණාවූ, රාගයෙන් මඩනා ලද, රාගයෙන් විනාශ කළ සිත් ඇත්තේ, කයින් දුෂ්චරිත කරයි. වචනයෙන් දුෂ්චරිත කරයි. සිතින් දුෂ්චරිත කරයි. රාගය පහවූ කල්හි කයින් දුෂ්චරිත නොකරයි. වචනයෙන් දුෂ්චරිත නොකරයි. සිතින් දුෂ්චරිත නොකරයි. “ඇවැත්නි, රාගයෙන් ඇලුණාවූ, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කළ සිත් ඇත්තේ, තමාගේ අර්ත්ථයද තත්වූ පරිදි නොදනියි. පරාර්ත්ථයද තත්වූ පරිදි නොදනියි. ආත්මාර්ත්ථ පරාන්ර්ථ දෙකමද තත්වූ පරිදි නොදනියි. “රාගය පහවූ කල්හි, තමාගේ අර්ත්ථයද තත්වූ පරිදි දනියි. පරාර්ත්ථයද තත්වූ පරිදි දනියි. ආත්මාර්ත්ථ පරාන්ර්ථ දෙකමද තත්වූ පරිදි දනියි. “ඇවැත්නි, රාගය සත්ත්වයා අන්ධ කරන්නෙකි. නුවණැස නැති කරන්නෙකි. නොදැනීම ඇති කරන්නෙකි. ප්රඡාව නිරුද්ධ කරන්නෙකි. දුක්ඛ පක්ෂයෙහි සිටියේය. නිවන් පිණිස නොපවත්නේය.
“ඇවැත්නි, ද්වේෂයෙන් ඇලුණාවූ, ද්වේෂයෙන් මඩනා ලද්දාවූ, ද්වේෂයෙන් විනාශ කළ සිත් ඇත්තාවු පුද්ගලතෙම තමහට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. දෙදෙනාටම දුක් පිණිසද සිතයි. මානසිකවූද දුකක්, දොම්නසක් විඳියි. “ද්වේෂය පහවූ කල්හි, තමහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. දෙදෙනාටම දුක් පිණිසද නොසිතයි. “ඇවැත්නි, ද්වේෂයෙන් ඇලුණාවූ, ද්වේෂයෙන් මඩනා ලද, ද්වේෂයෙන් විනාශ කළ සිත් ඇත්තේ, කයින් දුෂ්චරිත කරයි. වචනයෙන් දුෂ්චරිත කරයි. සිතින් දුෂ්චරිත කරයි. ද්වේෂය පහවූ කල්හි කයින් දුෂ්චරිත නොකරයි. වචනයෙන් දුෂ්චරිත නොකරයි. සිතින් දුෂ්චරිත නොකරයි. “ඇවැත්නි, ද්වේෂයෙන් ඇලුණාවූ, ද්වේෂයෙන් මඩනා ලද්දාවූ, ද්වේෂයෙන් විනාශ කළ සිත් ඇත්තේ, තමාගේ අර්ත්ථයද තත්වූ පරිදි නොදනියි. පරාර්ත්ථයද තත්වූ පරිදි නොදනියි. ආත්මාර්ත්ථ පරාන්ර්ථ දෙකමද තත්වූ පරිදි නොදනියි. “ද්වේෂය පහවූ කල්හි, තමාගේ අර්ත්ථයද තත්වූ පරිදි දනියි. පරාර්ත්ථයද තත්වූ පරිදි දනියි. ආත්මාර්ත්ථ පරාන්ර්ථ දෙකමද තත්වූ පරිදි දනියි. “ඇවැත්නි, ද්වේෂය සත්ත්වයා අන්ධ කරන්නෙකි. නුවණැස නැති කරන්නෙකි. නොදැනීම ඇති කරන්නෙකි. ප්රඡාව නිරුද්ධ කරන්නෙකි. දුක්ඛ පක්ෂයෙහි සිටියේය. නිවන් පිණිස නොපවත්නේය. “ඇවැත්නි, මෝහයෙන් ඇලුණාවූ, මෝහයෙන් මඩනා ලද්දාවූ, මෝහයෙන් විනාශ කළ සිත් ඇත්තාවු පුද්ගලතෙම තමහට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. දෙදෙනාටම දුක් පිණිසද සිතයි. මානසිකවූද දුකක්, දොම්නසක් විඳියි. “මෝහය පහවූ කල්හි, තමහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. දෙදෙනාටම දුක් පිණිසද නොසිතයි.
“ඇවැත්නි, මෝහයෙන් ඇලුණාවූ, මෝහයෙන් මඩනා ලද, මෝහයෙන් විනාශ කළ සිත් ඇත්තේ, කයින් දුෂ්චරිත කරයි. වචනයෙන් දුෂ්චරිත කරයි. සිතින් දුෂ්චරිත කරයි. මෝහය පහවූ කල්හි කයින් දුෂ්චරිත නොකරයි. වචනයෙන් දුෂ්චරිත නොකරයි. සිතින් දුෂ්චරිත නොකරයි. “ඇවැත්නි, මෝහයෙන් ඇලුණාවූ, මෝහයෙන් මඩනා ලද්දාවූ, මෝහයෙන් විනාශ කළ සිත් ඇත්තේ, තමාගේ අර්ත්ථයද තත්වූ පරිදි නොදනියි. පරාර්ත්ථයද තත්වූ පරිදි නොදනියි. ආත්මාර්ත්ථ පරාන්ර්ථ දෙකමද තත්වූ පරිදි නොදනියි. “මෝහය පහවූ කල්හි, තමාගේ අර්ත්ථයද තත්වූ පරිදි දනියි. පරාර්ත්ථයද තත්වූ පරිදි දනියි. ආත්මාර්ත්ථ පරාන්ර්ථ දෙකමද තත්වූ පරිදි දනියි. “ඇවැත්නි, මෝහය සත්ත්වයා අන්ධ කරන්නෙකි. නුවණැස නැති කරන්නෙකි. නොදැනීම ඇති කරන්නෙකි. ප්රඡාව නිරුද්ධ කරන්නෙකි. දුක්ඛ පක්ෂයෙහි සිටියේය. නිවන් පිණිස නොපවත්නේය.
“ඇවැත්නි, අපි රාගයෙහි මේ ආදීනව දැක රාගය පහකිරීම පනවමු. ද්වේෂයෙහි මේ ආදීනව දැක ද්වේෂය පහකිරීම පනවමු. මෝහයෙහි මේ ආදීනව දැක මෝහය පහකිරීම පනවමු.
“ඇවැත්නි, මේ රාගය, ද්වේෂය, මෝහය පහකිරීම පිණිස මාර්ගයක් ඇත්තේද? ප්රතිපදාවක් ඇත්තීද?” “ඇවැත්නි, මේ රාගය, ද්වේෂය, මෝහය පහකිරීම පිණිස මාර්ගයක් ඇත්තේය. ප්රතිපදාවක් ඇත්තීය” “ඇවැත්නි, මේ රාගය, ද්වේෂය, මෝහය පහකිරීම පිණිස පවත්නාවූ මාර්ගය කුමක්ද, ප්රතිපදාව කුමක්ද?” “මේ ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයමැයි. ඒ් කෙසේද? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේය. ඇවැත්නි, මේ රාගය, ද්වේෂය, මෝහය පහකිරීම පිණිස, මේ මාර්ගය වෙයි. මේ ප්රතිපදාව වෙයි.” “ඇවැත්නි, මේ රාගය, ද්වේෂය, මෝහය පහකිරීම පිණිස, පවත්නාවූ මාර්ගය යහපත්ය. ප්රතිපදාව යහපත්ය. ඇවැත්නි, අප්රමාදවීමට සුදුසුය” යි කීය.
2. ආජීවක සාවක සූත්රය
[කොසම්බි නිදානය]
73. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වාසය කරයි. එකල්හි, ආජීවකයන්ගේ ශ්රාවකයෙක්වූ, එක්තරා ගෘහපතියෙක් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක හිඳ ගත්තේය. එක්පසෙක හිඳගත් ඒ ආජීවකයන්ගේ ශ්රාවක ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගෙන් මෙය ඇසීය. “ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, කවරකුන්ගේ ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේද? ලෝකයෙහි කවරහු මනාව පිළිපන්නාහුද? කවරහු ලෝකයෙහි යහපත් මාර්ගයෙහි ගියාහුද?” යනුයි.
“ගෘහපතිය, එසේනම් මේ කාරණය ඔබගෙන්ම අසමි. ඔබට යම් විදියකින් වැටහේ නම් එය එසේ ප්රකාශ කරව. ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කෙනෙක් රාගය පහ කිරීම පිණිස දහම් දෙසත්ද, ද්වේෂය පහ කිරීම පිණිස දහම් දෙසත්ද, මෝහය පහ කිරීම පිණිස දහම් දෙසත්ද, ඔවුන්ගේ ධර්මය මනාකොට දේශනා කරණ ලද්දක් වේද, නොවේද? මෙහි ඔබගේ අදහස කුමක්ද?” “ස්වාමීනි, යම් කෙනෙක් රාගය පහකිරීම පිණිස දහම් දෙසත් නම්, ද්වේෂය පහකිරීම පිණිස දහම් දෙසත් නම්, මෝහය පහකිරීම පිණිස දහම් දෙසත් නම්, ඔවුන්ගේ ධර්මය මනාකොට දේශනා කරණ ලද්දක් වෙයි. යනු මෙහි මගේ අදහසයි.”
“ගෘහපතිය, ඒ කුමකැයි සිතන්නෙහිද? යම් කෙනෙක් රාගය පහ කිරීම පිණිස පිළිපන්නාහුද, ද්වේෂය පහ කරණු පිණිස පිළිපන්නාහුද, මෝහය පහ කරණු පිණිස පිළිපන්නාහුද, ලෝකයෙහි ඔවුහු මනාකොට පිළිපන්නාහු වෙත්ද, නොවෙත්ද? මෙහි ඔබගේ අදහස කුමක් වෙයිද?” “ස්වාමීනි, යම් කෙනෙක් ලෝකයෙහි රාගය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, ද්වේෂය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, මෝහය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, ඔවුහු ලෝකයෙහි මනාව පිළිපන්නාහු වෙත් යනු මගේ අදහස වෙයි.”