7. දුතිය භව පඤ්හ සූත්රය
78. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, භවය, භවය යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් භවය වේද?” යනුයි.
“ආනන්දය, කාම ධාතුවෙහි-කාම ලෝකයෙහි පැසෙන්නාවූ කර්මයක් නැත්නම් කාම භවයක් පෙනේද?”
“ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්දය, මෙසේ වනාහි කර්මය ක්ෂෙත්රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තෘෂ්ණාව ස්නෙහය වෙයි. අවිද්යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්ත්වයන්ගේ චෙතනාව හීන ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පිහිටියේ වෙයිද, ප්රාර්ථනාව පිහිටියේ වෙයිද, පුනර්භවයාගේ පහළවීම වෙයි.
“ආනන්දය, රූප ධාතුවෙහි පැසෙන්නාවූ කර්මයක් නැත්නම් රූප භවයක් පෙනේද?”
“ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්දය, මෙසේ වනාහි කර්මය ක්ෂෙත්රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තෘෂ්ණාව ස්නෙහය වෙයි. අවිද්යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්ත්වයන්ගේ චෙතනාව මධ්යම ධාතුයයි කියනලද රූප ලෝකයෙහි පිහිටියේ වෙයිද, ප්රාර්ථනාව පිහිටියේ වෙයිද, මෙසේ මත්තෙහි පුනර්භවයාගේ පහළවීම වෙයි.
“ආනන්දය, අරූප ධාතුවෙහි පැසෙන්නාවූ කර්මයක් නැත්නම් අරූප භවයක් පෙනේද?”
“ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්දය, මෙසේ වනාහි කර්මය ක්ෂෙත්රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තෘෂ්ණාව ස්නෙහය වෙයි. අවිද්යාවෙන් වැසුණූ, තෘෂ්ණාවෙන් බැඳුණු සත්ත්වයන්ගේ චෙතනාව ප්රණීත ධාතුයෙහි පිහිටියේ වෙයිද, ප්රාර්ථනාව පිහිටියේ වෙයිද, මෙසේ මත්තෙහි පුනර්භවයාගේ පහළවීම වෙයි. ආනන්දය, මෙසේ වනාහි භවය වේය” යි වදාළ සේක.
8. සීලබ්බතවිභජන සූත්රය
79. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ආනන්දය, සාරයයි එළඹ සිටින්නාවූ,-(සාරයයි සිතන්නාවූ) සියලු සීලයද, ව්රතයද, දුෂ්කර ක්රියාවද, බ්රහ්මචර්ය්යාවද ඵල සහිත වෙයිද?” යනුයි.
“ස්වාමීනි, ඒකාන්ත වශයෙන්ම ඵල සහිත නොවේ.”
“ආනන්දය, එසේ නම් බෙදා දක්වනු.”
“ස්වාමීනි, සාරයයි සිතන්නාවූ යම් ශීලයක්, ව්රතයක්, දුෂ්කර ක්රියාවක්, බ්රහ්මචර්ය්යාවක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත් නම්, කුශල ධර්මයෝ පිරිහෙත් නම්, සාරයයි සිතන්නාවූ එබඳුවූ ශීලය, ව්රතය, දුෂ්කර ක්රියාව, බ්රහ්මචර්ය්යාව ඵල රහිත වෙයි.”
“ස්වාමීනි, සාරයයි සිතන්නාවූ යම් ශීලයක්, ව්රතයක්, දුෂ්කර ක්රියාවක්, බ්රහ්මචර්ය්යාවක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද සාරයයි සිතන්නාවූ එබඳුවූ ශීලය, ව්රතය, දුෂ්කර ක්රියාව, බ්රහ්මචර්ය්යාව ඵල සහිතයයි.” කීය.
ආනන්ද ස්ථවිර තෙම මෙසේ කීය. ශාස්තෲන් වහන්සේ සතුටින් පිළිගත්හ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ මගේ වචනය භාග්යවතුන් වහන්සේ සතුටින් පිළිගත් සේකැයි හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේට වැඳ, ගෞරව කොට ගියේය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ගිය නොබෝ වේලාවකින් භික්ෂූන්ට ආමන්ත්රණය කළ සේක.
“මහණෙනි, ආනන්ද තෙමේ ශෛක්ෂයෙකි. ශෛක්ෂ ප්රඥාවෙන් ඔහුට සමවූවෙක් සුලභ නොවේය” යි වදාළ සේක.
9. ගන්ධජාත සූත්රය
80. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.
“ස්වාමීනි, යමෙකුන්ගේ සුවඳ යටි සුලඟටම හමයිද, උඩු සුලඟට නොහමයිද, එබඳු සුවඳ වර්ග තුනක් වෙත්.