4. අභය (ලිච්ඡවි) සූත්‍රය
[වෙසාලි නිදානය]
75. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විශාලානුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරති. එකල්හි අභය නම් ලිච්ඡවි තෙමේද, පණ්ඩිත කුමාර නම් ලිච්ඡවි තෙමේද ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියෝය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වැඳ එක් පසෙක හිඳගත්හ. එක් පසෙක හිඳගත් අභය නම් ලිච්ඡවි තෙමේ ආනන්‍ද ස්ථවිරයන්ට මෙසේ කීය.
“ස්වාමීනි, නිඝන්ඨනාතපුත්‍ර තෙමේ ‘යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, මාහට සියලු කල්හි සර්‍වඥතාඥානය එළඹ සිටියේය’ යි සර්‍වඥ බව, සියල්ල දක්නා ඥානය ඇති බව, නිරවශෙෂ ඥානයක් ඇති බව ප්‍රතිඥා කරයි. හෙතෙම තපස් කිරීමෙන් පුරාණ කර්‍ම ක්‍ෂය කරණ බව ප්‍රකාශ කරයි. අලුත් කර්‍ම නොකිරීමෙන් හේතු නැති කරණ බව ප්‍රකාශ කරයි. ‘මෙසේ කර්ම ක්‍ෂය කිරීමෙන් දුක් ක්‍ෂය කිරීමද, දුක් ක්‍ෂය කිරීමෙන් වේදනා ක්‍ෂය කිරීමද, වේදනා ක්‍ෂය කිරීමෙන් සියලු දුක් දිරා යන්නේය, මෙසේ තමා විසින්ම ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුවූ, කෙලෙසුන් දිරවීමයයි කියන ලද විශුද්ධියෙන් සියලු දුක්ඛයන්ගේ ඉක්මවීම වේය’ යි කියයි.
“ස්වාමිනි, මේ කාරණයේදී භාග්‍යවතුන් වහන්සේ කුමක් ප්‍රකාශ කරද්ද?” යනුයි.
“අභය, දන්නාවූ, දක්නාවූ ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ පිරිසිදුවීම පිණිස, සෝක පරිදේවයන් ඉක්මවීම පිණිස, ආර්‍ය්‍ය මාර්‍ගය අවබෝධ කිරීම පිණිස, නිවන් ප්‍රත්‍යක්‍ෂ කරණු පිණිස මේ ජරාව නැති කරන්නාවූ පිරසිදුවීම් තුනක් වදාරණ ලදහ.
“අභය, මෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් යුක්තව, ආචාර ගෝචර දෙකින් සමන්විතව, ශික්‍ෂා පදයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කරයිද, හෙතෙමේ අලුත් කර්‍ම නොකරයි. පුරාණ කර්‍ම විඳ විඳ කෙළවර කරයි. “මෙයද, තමන් විසින්ම දැක්ක යුතුවූ, කල් නොයවාම ඵල දෙන, ‘එව බලව’ යි පෙන්විය හැකි, තමන් වෙත එළවා ගත යුතුවූ, නුවණැතියන් විසින් වෙන වෙනම ප්‍රත්‍යක්‍ෂ කළ යුතුවූ නිර්ජර විශුද්ධියයි.
“අභය, මෙසේ ශීලයෙන් යුක්තවූ ඒ මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්වම, අකුශලයන්ගෙන් වෙන්වම, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය පහව යාමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති චතුර්ත්‍ථද්ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම අලුත් කර්‍ම නොකරයි. පුරාණ කර්‍ම විඳ විඳ කෙළවර කරයි. “මෙයද, තමන් විසින්ම දැක්ක යුතුවූ, කල් නොයවාම ඵල දෙන, ‘එව බලව’ යි පෙන්විය හැකි, තමන් වෙත එළවා ගත යුතුවූ, නුවණැතියන් විසින් වෙන වෙනම ප්‍රත්‍යක්‍ෂ කළ යුතුවූ නිර්ජර විශුද්ධියයි.
“අභය, මෙසේ ශීලයෙන් යුක්තවූ, මෙසේ සමාධියෙන් යුක්තවූ ඒ මහණ තෙමේ, ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ අර්‍හත් ඵල සමාධියත්, අර්හත් ඵල ප්‍රඥාවත් තෙමේම විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරයි. හෙතෙමේ අලුත් කර්ම නොකරයි. පුරාණ කර්ම විඳ විඳ කෙළවර කරයි. “මෙයද, තමන් විසින්ම දැක්ක යුතුවූ, කල් නොයවාම ඵල දෙන, ‘එව බලව’ යි පෙන්විය හැකි, තමන් වෙත එළවා ගත යුතුවූ, නුවණැතියන් විසින් වෙන වෙනම ප්‍රත්‍යක්‍ෂ කළ යුතුවූ නිර්ජර විශුද්ධියයි.
“අභය, මේ නිර්ජර විශුද්ධි තුන දන්නාවූ, දක්නාවූ අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ පිරිසිදුවීම පිණිස, සොක පරිදේවයන් ඉක්මවීම පිණිස, දුක් දොම්නස් දුරුකිරීම පිණිස, මාර්ගය අවබෝධ කිරීම පිණිස, නිවන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස මනාකොට වදාරන ලදය’ යි කීය.
“මෙසේ කී කල්හි පණ්ඩිත කුමාර ලිච්ඡවි තෙමේ අභය ලිච්ඡවි කුමාරයන්ට මෙසේ කීය:
“යහලු අභය, කිමෙක්ද ඔබ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් මනාකොට කියන ලද්ද, මනාකොට කියන ලද්දක් වශයෙන් සතුටින් නොපිළිගන්නෙහිදැ?”
“යහලුව මම කුමක් හෙයින් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් මනාව කියන ලද්ද, මනාව කියන ලද්දක් වශයෙන් සතුටින් නොපිළිගන්නෙම්ද? යමෙක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් මනාව කියන ලද්ද මනාව කියන ලද්දක් වශයෙන් සතුටින් නොපිළිගන්නේ නම් ඔහුගේ හිසද පැළෙන්නේය” යි කීය.
5. සමාදපෙත්තබ්බ සූත්‍රය
[සාවත්ථි නිදානයයි]
76. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාගයවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“ආනන්‍දය, සත්ත්‍වයෙකුට අනුකම්පා කරන්නහුද, මිත්‍රයන් හෝ, යහළුවන් හෝ, නෑයන් හෝ, ලේ නෑයන් හෝ, යම් කෙනෙකුන් ඇසියයුත්තන් කොට හඟින්නාහුද, ආනන්‍දය, ඔවුහු කරුණු තුනෙක්හි සමාදන් කරවිය යුත්තාහ. ඇතුලත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
“කිනම් කරුණු තුනෙක්හිද : ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්‍හත්යහ. සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසදම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්‍යවත්යයි බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.