3. මහානාම (සමාධිඤාණ) සූත්රය
[කිඹුල්වත්පුර නිදානය]
74. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කිඹුල්වත් පුරයෙහි නිග්රොධාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි භාග්යවතුන් වහන්සේ ගිලන් භාවයෙන් නැගී සිටියෝ වෙත්. ගිලන් කමින් නැගිට නොබෝ කල් ඇත්තෝ වෙත්. එකල්හි මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳගත්තේය. එක් පසෙක හිඳගත් මහානාම ශාක්යතෙමේ භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, මම බොහෝ කලක පටන් භාග්යවතුන් වහන්සේ විසින් සමාධියෙන් යුක්තවූවහුට ඥානය වෙයි. සමාධියෙන් යුක්ත නොවූවහුට ඥානය නොවේයයි මෙසේ ධර්ම දේශනා කරණ ලද බව දනිමි. ස්වාමීනි, පළමුකොට සමාධිය ඇතිවේද, පසුව ඥානය ඇතිවේද? නොහොත් පළමුකොට ඥානය ඇතිවේද, පසුව සමාධිය ඇතිවේද?” යනුයි.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේහට මෙබඳු සිතක් විය. ‘භාග්යවතුන් වහන්සේ ගිලන් කමින් නැගී සිටියෝ වෙත්. ගිලන් කමින් නැගිට නොබෝ කල් ඇත්තෝ වෙත්. මේ මහානාම ශාක්යතෙමේ ඉතා ගැඹුරු ප්රශ්නයක් අසයි. මම මහානාම ශාක්යයා එක් පසෙකට ඉවත්කොට ධර්ම දේශනා කරන්නෙම් නම් මැනවි’ කියායි.
ඉක්බිති, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මහානාම ශාක්යයාගේ දකුණු බාහුවට ඇඟිල්ලෙන් සංඥාකොට එක් පසෙකට කැඳවා, මහානාම ශාක්යයාහට මෙසේ කීය. “මහානාමය, භාග්යවතුන් වහන්සේ විසින් සෙඛ සීලයද වදාරණ ලදී. අසෙඛ සීලයද වදාරණ ලදී. සෙඛ සමාධියද වදාරණ ලදී. අසෙඛ සමාධියද වදාරණ ලදී. ශෛක්ෂ ප්රඥාවද වදාරණ ලදී. අශෛක්ෂ ප්රඥාවද වදාරණ ලදී.
“මහානාමය, සෙඛ සීලය නම් කුමක්ද? මහානාමය, මේ ශාසනයෙහි මහණ තෙමේ ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව ආචාර ගොචර දෙකින් සමන්විතව, ශික්ෂා පදයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කෙරේද, මහානාමය, මේ සෙඛ සීලයයි කියනු ලැබේ. “මහානාමය, සෙඛ සමාධිය නම් කුමක්ද? මහානාමය, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්රීතිය හා සැප ඇති ප්රථම ධ්යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්රීතිය හා සැප ඇති දෙවෙනි ධ්යානයට පැමිණ වාසය කරයි. ප්රීතිය පහව යාමෙන් උපෙක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආර්ය්යයෝ කියත්ද, ඒ තෘතීය ධ්යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කරයිද, මහානාමය, මේ සේඛ සමාධියයයි කියනු ලැබේ. “මහානාමය, කුමක් ශෛක්ෂප්රඥාව නම් වේද, මහානාමය, මේ ශාසනයෙහි මහණතෙම මෙය දුකයයි තත්වූ පරිද්දෙන් දනියිද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනියිද, මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දනියිද, මෙය දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයයි තත්වූ පරිද්දෙන් දනියිද, මහානාමය, මෙය ශෛක්ෂප්රඥාවයයි කියනු ලැබේ.
“මහානාමය, මේ සීලයෙන් යුත්, මේ සමාධියෙන් යුත්, මේ ප්රඥාවෙන් යුත් ඒ ආර්ය්ය ශ්රාවක තෙමේ ආශ්රවයන් ක්ෂය කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශේෂයෙන් දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි.
මහානාමය, මෙසේ වනාහි භාග්යවතුන් වහන්සේ විසින් සෙඛ සීලයද වදාරණ ලදී. අසේඛ සීලයද වදාරණ ලදී. සේඛ සමාධියද වදාරණ ලදී. අසෙඛ සමාධියද වදාරණ ලදී. ශෛක්ෂප්රඥාවද වදාරණ ලදී. අශෛක්ෂප්රඥාවද වදාරණ ලදී.”
4. අභය (ලිච්ඡවි) සූත්රය
[වෙසාලි නිදානය]
75. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලානුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරති. එකල්හි අභය නම් ලිච්ඡවි තෙමේද, පණ්ඩිත කුමාර නම් ලිච්ඡවි තෙමේද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියෝය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක හිඳගත්හ. එක් පසෙක හිඳගත් අභය නම් ලිච්ඡවි තෙමේ ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය.
“ස්වාමීනි, නිඝන්ඨනාතපුත්ර තෙමේ ‘යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, මාහට සියලු කල්හි සර්වඥතාඥානය එළඹ සිටියේය’ යි සර්වඥ බව, සියල්ල දක්නා ඥානය ඇති බව, නිරවශෙෂ ඥානයක් ඇති බව ප්රතිඥා කරයි. හෙතෙම තපස් කිරීමෙන් පුරාණ කර්ම ක්ෂය කරණ බව ප්රකාශ කරයි. අලුත් කර්ම නොකිරීමෙන් හේතු නැති කරණ බව ප්රකාශ කරයි. ‘මෙසේ කර්ම ක්ෂය කිරීමෙන් දුක් ක්ෂය කිරීමද, දුක් ක්ෂය කිරීමෙන් වේදනා ක්ෂය කිරීමද, වේදනා ක්ෂය කිරීමෙන් සියලු දුක් දිරා යන්නේය, මෙසේ තමා විසින්ම ප්රත්යක්ෂ කරගත යුතුවූ, කෙලෙසුන් දිරවීමයයි කියන ලද විශුද්ධියෙන් සියලු දුක්ඛයන්ගේ ඉක්මවීම වේය’ යි කියයි.
“ස්වාමිනි, මේ කාරණයේදී භාග්යවතුන් වහන්සේ කුමක් ප්රකාශ කරද්ද?” යනුයි.
“අභය, දන්නාවූ, දක්නාවූ ඒ අර්හත් සම්යක් සම්බුද්ධවූ භාග්යවතුන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිස, සෝක පරිදේවයන් ඉක්මවීම පිණිස, ආර්ය්ය මාර්ගය අවබෝධ කිරීම පිණිස, නිවන් ප්රත්යක්ෂ කරණු පිණිස මේ ජරාව නැති කරන්නාවූ පිරසිදුවීම් තුනක් වදාරණ ලදහ.
“අභය, මෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්තව, ආචාර ගෝචර දෙකින් සමන්විතව, ශික්ෂා පදයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කරයිද, හෙතෙමේ අලුත් කර්ම නොකරයි. පුරාණ කර්ම විඳ විඳ කෙළවර කරයි. “මෙයද, තමන් විසින්ම දැක්ක යුතුවූ, කල් නොයවාම ඵල දෙන, ‘එව බලව’ යි පෙන්විය හැකි, තමන් වෙත එළවා ගත යුතුවූ, නුවණැතියන් විසින් වෙන වෙනම ප්රත්යක්ෂ කළ යුතුවූ නිර්ජර විශුද්ධියයි.