2. ආජීවක සාවක සූත්රය
[කොසම්බි නිදානය]
73. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වාසය කරයි. එකල්හි, ආජීවකයන්ගේ ශ්රාවකයෙක්වූ, එක්තරා ගෘහපතියෙක් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක හිඳ ගත්තේය. එක්පසෙක හිඳගත් ඒ ආජීවකයන්ගේ ශ්රාවක ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගෙන් මෙය ඇසීය. “ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, කවරකුන්ගේ ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේද? ලෝකයෙහි කවරහු මනාව පිළිපන්නාහුද? කවරහු ලෝකයෙහි යහපත් මාර්ගයෙහි ගියාහුද?” යනුයි.
“ගෘහපතිය, එසේනම් මේ කාරණය ඔබගෙන්ම අසමි. ඔබට යම් විදියකින් වැටහේ නම් එය එසේ ප්රකාශ කරව. ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කෙනෙක් රාගය පහ කිරීම පිණිස දහම් දෙසත්ද, ද්වේෂය පහ කිරීම පිණිස දහම් දෙසත්ද, මෝහය පහ කිරීම පිණිස දහම් දෙසත්ද, ඔවුන්ගේ ධර්මය මනාකොට දේශනා කරණ ලද්දක් වේද, නොවේද? මෙහි ඔබගේ අදහස කුමක්ද?” “ස්වාමීනි, යම් කෙනෙක් රාගය පහකිරීම පිණිස දහම් දෙසත් නම්, ද්වේෂය පහකිරීම පිණිස දහම් දෙසත් නම්, මෝහය පහකිරීම පිණිස දහම් දෙසත් නම්, ඔවුන්ගේ ධර්මය මනාකොට දේශනා කරණ ලද්දක් වෙයි. යනු මෙහි මගේ අදහසයි.”
“ගෘහපතිය, ඒ කුමකැයි සිතන්නෙහිද? යම් කෙනෙක් රාගය පහ කිරීම පිණිස පිළිපන්නාහුද, ද්වේෂය පහ කරණු පිණිස පිළිපන්නාහුද, මෝහය පහ කරණු පිණිස පිළිපන්නාහුද, ලෝකයෙහි ඔවුහු මනාකොට පිළිපන්නාහු වෙත්ද, නොවෙත්ද? මෙහි ඔබගේ අදහස කුමක් වෙයිද?” “ස්වාමීනි, යම් කෙනෙක් ලෝකයෙහි රාගය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, ද්වේෂය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, මෝහය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, ඔවුහු ලෝකයෙහි මනාව පිළිපන්නාහු වෙත් යනු මගේ අදහස වෙයි.”
“ගෘහපතිය, ඒ කුමකැයි සිතන්නෙහිද? යමෙකන්ගේ රාගය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේ වෙයිද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයිද, නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයිද, යමෙකුන්ගේ ද්වේෂය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේ වෙයිද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයිද, නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයිද, යමෙකුගේ මෝහය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේ වෙයිද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයිද, නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයිද, ඔවුහු ලෝකයෙහි යහපත් මාර්ගයෙහි ගියාහු වෙත්ද, නොවෙත්ද, මෙහි ඔබගේ අදහස කුමක්ද?” “ස්වාමීනි, යමෙකුන්ගේ රාගය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේ වෙයිද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයිද, නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයිද, යමෙකුන්ගේ ද්වේෂය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේ වෙයිද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයිද, නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයිද, යමෙකුගේ මෝහය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේ වෙයිද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයිද, නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයිද, ඔවුහු ලෝකයෙහි යහපත් මාර්ගයෙහි ගියාහු වෙත් යනු මාගේ අදහස වෙයි.”
“ගෘහපතිය, මෙසේ ඔබ විසින්ම “ස්වාමීනි, යම් කෙනෙක් රාගය පහකිරීම පිණිස දහම් දෙසත්ද, ද්වේෂය පහකිරීම පිණිස දහම් දෙසත්ද, මෝහය පහකිරීම පිණිස දහම් දෙසත්ද, ඔවුන්ගේ ධර්මය යහපත් කොට දේශනා කරණ ලද්දෙකැ” යි. ප්රකාශ කරණ ලදී. “ස්වාමීනි, යම් කෙනෙක් රාගය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, ද්වේෂය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, මෝහය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, ඔවුහු ලෝකයෙහි මනාව පිළිපන්නාහු වෙත්ය’ යි ඔබ විසින්ම ප්රකාශ කරණ ලදී. “ස්වාමීනි, යමෙකුන්ගේ රාගය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේද, නැවත නූපදින ස්වභාවය ඇත්තේද, ද්වේෂය පහවූයේද සිඳින ලද මුල් ඇත්තේද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේද, නැවත නූපදින ස්වභාවය ඇත්තේද, මෝහය පහවූයේද, සිඳින ලද මුල් ඇත්තේද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේද, නැවත නූපදින ස්වභාවය ඇත්තේද, ඔවුහු ලෝකයෙහි යහපත් මාර්ගයෙහි ගියාහු වෙත්ය” යි ඔබ විසින්ම ප්රකාශ කරණ ලදී.”
“ස්වාමීණි, ආශ්චර්ය්යය, අද්භූතය, තමන්ගේ ලබ්ධිය උසස්කොට දැක්වීමක්ද නොවන්නේය. අනුන්ගේ ලබ්ධිය පහත්කොට දැක්වීමක්ද නොවන්නේය. කාරණයෙන්ම ධර්ම දේශනාව විය. මා විසින් අසන ලද ප්රත්යයාගේ අර්ත්ථයද ප්රකාශ කරණ ලදී. අපි මෙබන්දෝ වෙමු යයි තමන් ගැනද නොදක්වන ලදී.
“ස්වාමීනි, නුඹ වහන්සේලා රාගය පහ කිරීම පිණිස දහම් දෙසන්නාහු නම්, ද්වේෂය පහ කිරීම පිණිස දහම් දෙසන්නාහු නම්, මෝහය පහ කිරීම පිණිස දහම් දෙසන්නාහු නම්, ස්වාමීනි, ඔබ වහන්සේලාගේ ධර්මය මනාව දෙසන ලද්දකි. “ස්වාමීනි, නුඹ වහන්සේලා රාගය පහ කිරීම පිණිස පිළිපන්නහු නම්, ද්වේෂය පහ කිරීම පිණිස පිළිපන්නහු නම්, මෝහය පහ කිරීම පිණිස පිළිපන්නහු නම්, ස්වාමීනි, ඔබ වහන්සේලා ලෝකයෙහි මනාව පිළිපන්නෝ වෙත්. “ස්වාමීනි, ඔබ වහන්සේලාගේ රාගය පහවූයේ නම්, මුල් සිඳින ලද්දේ නම්, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නම්, විනාශ කරණ ලද්දේ නම්, නැවත නූපදින ස්වභාවය ඇත්තේ නම්, ඔබ වහන්සේලාගේ ද්වේෂය පහවූයේ නම්, මුල් සිඳින ලද්දේ නම්, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නම්, විනාශ කරණ ලද්දේ නම්, නැවත නූපදින ස්වභාවය ඇත්තේ නම්, ඔබ වහන්සේලාගේ මෝහය පහවූයේ නම්, මුල් සිඳින ලද්දේ නම්, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නම්, විනාශ කරණ ලද්දේ නම්, නැවත නූපදින ස්වභාවය ඇත්තේ නම්, ඔබ වහන්සේලා ලෝකයෙහි යහපත් මාර්ගයෙහි ගියාහු වෙත්.”