3. 2. 2. 9. කුසලාකුසල මූල සූත්රය
19. “මහණෙනි, මේ අකුසල මූලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද, ලෝභය අකුසල් මුලකි. දෝෂය අකුසල් මුලකි. මෝහය අකුසල් මුලකි.
“මහණෙනි, යම් ලෝභයක් වේද, එයද අකුසලයකි. ලෝභයෙන් ඇලුණාවූ පුද්ගල තෙමේ, කයින්, වචනයෙන්, සිතින් යමක් රැස්කරයිද, එයද අකුසල් වෙයි. ඇලුණාවූ ලෝභයෙන් මඩනා ලද්දාවූ, විනාශ කරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවතෙක්මි. බලය ප්රයෝජන කොට ඇත්තෙක් වෙමි’ යි වධ කිරීමෙන් හෝ, බන්ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්යයෙන් අන්යයාට දුක් උපදවාද, එයද අකුසල් වන්නේය. මෙසේ ඔහුට ලෝභයෙන් හට ගන්නාවූ, ලෝභය නිදාන කොට ඇත්තාවූ, ලෝභය නිසා පහළ වන්නාවු, ලෝභය ප්රත්යය කොට ඇත්තාවූ නොයෙක් ලාමක අකුසල ධර්මයෝ හටගනිත්.
“මහණෙනි, යම් ද්වේෂයක් වේද, එයද අකුසලයකි. ද්වේෂයෙන් ඇලුණාවූ පුද්ගල තෙමේ, කයින්, වචනයෙන්, සිතින් යමක් රැස්කරයිද, එයද අකුසල් වෙයි. ඇලුණාවූ ද්වේයෙන් මඩනා ලද්දාවූ, විනාශ කරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවතෙක්මි. බලය ප්රයෝජන කොට ඇත්තෙක් වෙමි’ යි වධ කිරීමෙන් හෝ, බන්ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්යයෙන් අන්යයාට දුක් උපදවාද, එයද අකුසල් වන්නේය. මෙසේ ඔහුට ද්වේෂයෙන් හට ගන්නාවූ, ද්වේෂය නිදාන කොට ඇත්තාවූ, ද්වේෂය නිසා පහළ වන්නාවු, ද්වේෂය ප්රත්යය කොට ඇත්තාවූ නොයෙක් ලාමක අකුසල ධර්මයෝ හටගනිත්.
“මහණෙනි, යම් මෝහයක් වේද, එයද අකුසලයකි. මෝහයෙන් ඇලුණාවූ පුද්ගල තෙමේ, කයින්, වචනයෙන්, සිතින් යමක් රැස්කරයිද, එයද අකුසල් වෙයි. ඇලුණාවූ මෝහයෙන් මඩනා ලද්දාවූ, විනාශ කරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවතෙක්මි. බලය ප්රයෝජන කොට ඇත්තෙක් වෙමි’ යි වධ කිරීමෙන් හෝ, බන්ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්යයෙන් අන්යයාට දුක් උපදවාද, එයද අකුසල් වන්නේය. මෙසේ ඔහුට මෝහයෙන් හට ගන්නාවූ, මෝහය නිදාන කොට ඇත්තාවූ, මෝහය නිසා පහළ වන්නාවු, මෝහය ප්රත්යය කොට ඇත්තාවූ නොයෙක් ලාමක අකුසල ධර්මයෝ හටගනිත්. “මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ අකාලවාදීයයිද, අභූතවාදීයයිද, අනර්ථවාදීයයිද, අධර්මවාදීයයිද, අවිනයවාදීයයිද කියනු ලැබේ.
මහණෙනි, කුමක් හෙයින් මේ පුද්ගල තෙමේ අකාලවාදීයයිද, අභූතවාදීයයිද, අනර්ථවාදීයයිද, අධර්මවාදීයයිද, අවිනයවාදීයයිද කියනු ලැබේද, මහණෙනි, යම් සේ මේ පුද්ගල තෙමේ ‘මම බලවත් වෙමි. බලයෙන් ප්රයෝජන ඇත්තේ වෙමි’ යි වධ කිරීමෙන් හෝ, හිර කිරීමෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, නෙරපීමෙන් හෝ, අසත්යයෙන් අන්යයාට දුක් උපදවයිද, සත්යවූ පරිදි කියනු ලැබූ කල්හි හෙතෙමේ අවමන් කරයි. නොපිළිගනියි. අසත්යයෙන් කියනු ලබන කල්හි එය මෙසේත් අසත්යයි, මෙසේත් අභූතයයි, එය පැටලුම් හැරීම පිණිස උත්සාහ නොකරයි. එහෙයින් මෙබඳු පුද්ගල තෙමේ අකාලවාදීයයිද, අභූතවාදීයයිද, අනර්ථවාදීයයිද, අධර්මවාදීයයිද, අවිනයවාදීයයිද කියනු ලැබේ.
මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ ලෝභයෙන් හටගන්නාවූ අකුසල ධර්මයන්ගෙන් මඩනා ලද්දේ, විනාශ කරන ලද සිත් ඇත්තේ, මේ ආත්මයෙහිම දුක් සහිතවූ, ශෝකයෙන් හට ගන්නාවූ, වෙහෙස සහිතවූ, දාහ සහිතවූ දුක් විඳිමින් වාසය කරයි. කය බිඳීමෙන් මරණින් පසු දුර්ගතිය කැමති විය යුත්තීය.
ද්වේෂයෙන් උපන් - මෝහයෙන් උපන් ලාමක අකුසල ධර්මයන්ගෙන් මඩනා ලද්දේ, යටකොට ගත් සිත් ඇත්තේ මෙලොවම වෙහෙස සහිතව, දැඩි ආයාස සහිතව, දැවිලි සහිතව දුකසේ වාසය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දුගතිය කැමති විය යුතුයි.