3. 2. 2. 10. විසාඛුපොසථ සූත්‍රය
71. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු පාසාද නම්වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි, මිගාර මාතාවූ විශාඛා උපාසිකා තොමෝ එදවස් පොහෝ දිනයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නීය.
“එක් පසෙක හුන් මිගාර මාතා විශාඛා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ, “විශාඛාවෙනි, මේ දවල් කාලයෙහි කොයි සිට එන්නෙහිදැ?” යි වදාළ සේක.
“ස්වාමීනි, මම අද පෙහෙවස් සමාදන්ව වෙසෙමි” යි කීය.
“විශාඛාවෙනි, මේ උපෝසථ තුනක් වෙත්. කවර තුනක්ද? ගෝපාලක උපෝසථය, නිගණ්ඨ උපෝසථය, අරිය උපෝසථය යන මේ තුනය.
“විශාඛාවෙනි, කෙසේ නම් ගෝපාලක උපෝසථ ශීලය වන්නේද? විශාඛාවෙනි, යම්සේ ගොපලු තෙම, සවස් කාලයෙහි ගවයන් ස්වාමියන්ට භාරදී මෙසේ සිතන්නේද? කෙසේද? ‘අද ගවයෝ අසවල් අසවල් තන්හි හැසුරුණාහ. අසවල් අසවල් තන්හි පැන් පූහ. හෙට ගවයෝ අසවල් අසවල් තන්හි හැසිරෙන්නාහ. අසවල් අසවල් තන්හි පැන් බොන්නාහ’ කියායි. විශාඛාවෙනි, එපරිද්දෙන්ම මේ ලෝක යෙහි පෙහෙවස් සමාදන්වූ ඇතැමෙක් මෙසේ සිතයි. කෙසේද, “අද මම මේ මේ කෑ යුතු දෙය කෑවෙමි. මේ මේ පානය කළ යුතු දේ පානය කෙළෙමි. මම හෙට මේ මේ කෑ යුතු දේ කන්නෙමි. මේ මේ පානය කළ යුතු දේ බොන්නෙමි” කියායි. හෙතෙම ඒ ලෝභයෙන් අභිධ්‍යා සහගත සිතින් දවස ඉක්මවයි. විශාඛාවෙනි, මේ ගෝපාලක උපෝසථය වේ. විශාඛාවෙනි, මෙසේ වසන ලද ගෝපාලක උපෝසථය මහත් ඵල ඇත්තේ නොවෙයි. මහානිසංස ඇත්තේ නොවෙයි. මහත්වූ පැතිරීම් ඇත්තේ නොවෙයි.
“විශාඛාවෙනි, කෙසේ නම් නිඝණ්ඨ උපෝසථය වේද, විශාඛාවෙනි, නිඝණ්ඨ නම්වූ ශ්‍රමණ වර්‍ගයක් ඇත. ඔවුහු ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්. කෙසේද? “පින්වත, මෙහි එව. පූර්‍ව දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්ත්‍වයෝ වෙත් නම්, ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව. පශ්චිම දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්ත්‍වයෝ වෙත් නම්, ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව. උතුරු දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්ත්‍වයෝ වෙත් නම්, ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව. දකුණු දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්ත්‍වයෝ වෙත් නම්, ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව.” කියායි. මෙසේ සමහර සතුන් කෙරෙහි කරුණාව පිණිස, අනුකම්පාව පිණිස සමාදන් කරවත්. සමහර සත්ත්‍වයන් කෙරෙහි අකරුණාව පිණිස, අනනුකම්පාව පිණිස සමාදන් කරවත්. ඔවුහු පොහෝ දිනයෙහි ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්. කෙසේද? “පින්වත් පුරුෂය, මෙහි එව. සියලු වස්ත්‍ර බහා තබා, මම කිසි තැනක කිසිවෙකුට පළිබෝධ නොවෙමි. මට කිසි තැනෙක්හි, කිහියම් දෙයෙක්හි පළිබෝධයක් නැතැ” යි කියව.
(එහෙත්) ඔහුගේ මවු පියෝ මේ අපගේ පුත්‍රයා යයි දනිත්. ඔහුද මේ මගේ මවු පියෝ යයි දනිත්. ඔහුගේ අඹු දරුවෝද මේ අපගේ පෝෂ්‍ය කරන්නා යයි දනිත්. ඔහුද මේ මගේ අඹු දරුවෝ යයි දනිත්. ඔහුගේ දැසි දස් කම්කරුවෝද මේ අපගේ ස්වාමියායයි දනිත්. ඔහුද මේ මගේ දැසි දස් කම්කරුවෝයයි දනිත්. මෙසේ යම් කලෙක සත්‍යයෙහි සමාදන් කරවිය යුත්තාහුද එකල බොරුවෙහි සමාදන් කරවත්. මේ ඔහුගේ මුසාවාදයයි කියමි. හෙතෙම ඒ රාත්‍රිය ගෙවීමෙන් පසු නුදුන්නාවූම ඇඳ පුටු කැඳ බත් ආදී පරිභොග කරයි. මේ ඔහුගේ අදින්නාදානය (සොරකම) යයි කියත්. විශාඛාවෙනි, මේ නිඝණ්ඨ උපෝසථය වෙයි. විශාඛාවෙනි, “මෙසේ වසනලද නිගණ්ඨ උපෝසථය මහත් ඵල ඇත්තේ නොවෙයි. මහත් ආනිසංස ඇත්තේ නොවෙයි. මහත් බැබලීම් ඇත්තේ නොවෙයි. පැතුරුණු විපාක ඇත්තේ නොවෙයි.
“විශාඛාවෙනි, කෙසේ අරිය උපෝසථය වේද? විශාඛාවෙනි, කෙලෙසුන්ගෙන් කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ සිත කෙසේ උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයිද? විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඒ භාග්‍යවත් තෙමේ මෙසේද අර්‍හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසදම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්‍යවත්යයි තථාගතයන් සිහි කරයිද,
තථාගතයන් සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත්ද, ඒ ක්ලේශයෝ පහ වෙත්. විශාඛාවෙනි, කිළුටුවූ හිස උපක්‍රමයෙන් පිරිසිදු වෙයි.
විශාඛාවෙනි, කිලුටුවූ හිස උපක්‍රමයෙන් කෙසේ පිරිසිදු වේද? නෙල්ලි කල්කය නිසාත්, මැටි නිසාත්, ජලය නිසාත්, ඊට සුදුසුවූ පුරුෂයාගේ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ හිස උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, එපරිද්දෙන්ම කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි.
විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් කෙසේ පිරිසිදු වෙයිද? විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඒ භාග්‍යවත් තෙමේ මෙසේද අර්‍හත්ය -පෙ- දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්‍යවත්යයි තථාගතයන් සිහි කරයිද,
තථාගතයන් සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත්ද, ඒ ක්ලේශයෝ පහ වෙත්. විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ බ්‍රහ්ම උපෝසථය වන්නේ වෙයි. තථාගතයන් නමැති බ්‍රහ්මයා හා සමග වසන්නේ වෙයි. තථාගතයන් නමැති බ්‍රහ්මයා අරභයා සිත පහදවයි. ප්‍රීතිය උපදවයි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහ වෙත්. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි.