(7) 2. මහා වර්‍ගය
1. (මහා) තින්‍ථායතන සූත්‍රය
සැවැත් නුවර නිදානයි
11. “මහණෙනි, පණ්ඩිතයින් විසින් කරුණු ඇසිය යුත්තාවූ, හේතු විමසිය යුත්තාවූ, අනුශාසනා කළ යුත්තාවූ යම් ඒ තීර්ථකයන්ගේ දෘෂ්ටි කෙනෙක් පරම්පරා වශයෙන් (අතීතයට) ගොස් අක්‍රියා මාත්‍රයක පිහිටත්ද තීර්ථකයන්ගේ එබඳුවූ මේ මිථ්‍යාදෘෂ්ටි තුනක් වෙත්. “කවර තුනක්ද. මහණෙනි. මේ පුරුෂ පුද්ගලතෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍ව කර්‍ම හේතුවෙන්ම වේයයි කියන්නාවූ, මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. “මහණෙනි, මේ පුරුෂ පුද්ගල තෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, ඊශ්වරයා විසින් මවන ලද බැවින්යයි මෙසේ කියන්නාවූ, මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, හේතුවක්, ප්‍රත්‍යයක් නැතිව වීයයි, මෙසේ කියන්නාවූ, මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ.
“මහණෙනි, ඔවුනතුරෙන් මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපයක් හෝ දුකක් හෝ මැදහත් බවක් හෝ විඳීද, ඒ සියල්ල පෙර කරණ ලද කර්‍මය හේතු කොට ගෙණ යයි මෙසේ කියන්නාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. (කෙසේද) ‘ආයුෂ්මතුනි, තෙපි මේ පුරුෂ පුද්ගල තෙම, යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් විඳීද, පෙර කරණ ලද කර්‍මය හේතු කොට ගෙණයයි මෙබඳු වාද ඇත්තාහුය, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑද? කියායි. “මෙසේ මා විසින් අසන ලද්දාවූ ඔවුහු ඉදින් එසේයයි කියත් නම් මම ඔවුන්ට මෙසේ කියමි. (කෙසේද) ‘ආයුෂ්මතුනි, එසේ වී නම් පෙර කරණ ලද කර්‍මය හේතු කොට ගෙන, ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය. පෙර කරණ ලද කර්‍මය නිසා සොරකම් කරන්නෝ වන්නාහුය. පෙර කරණ ලද කර්‍මය නිසා බඹසර නැත්තෝ වන්නාහුය. පෙර කරණ ලද කර්‍මය නිසා කේළාම් කියන්නෝ වන්නාහුය. පෙර කරණ ලද කර්‍මය නිසා ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. පෙර කරණ ලද කර්‍මය නිසා ප්‍රලාප කියන්නෝ වන්නාහුය. පෙර කරණ ලද කර්‍මය නිසා අභිධ්‍යාව බහුලකොට ඇත්තෝ වන්නාහුය. පෙර කරණ ලද කර්‍මය නිසා ව්‍යාපාද සිත් ඇත්තෝ වන්නාහුය. පූර්‍වකෘත කර්‍ම හේතුවෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තෝ වන්නාහුය’ යි කියායි.
“මහණෙනි, පෙර කරණ ලද්ද වනාහි සාර වශයෙන් ගන්නාවුන්ට මෙය කටයුතුයයි කියා හෝ මෙය නොකටයුතුය කියා හෝ කැමැත්තක් හෝ උත්සාහයක් හෝ නැත්තේය. මෙසේ කටයුතු නොකටයුතු දෙක වනාහි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් නොලබන කල්හි මුළාවූ සිහියෙන් ආරක්‍ෂා රහිතව වාසය කරන්නවුන්ට තම තමන්ගේ කරුණු සහිතවූ ශ්‍රමණ වාදයක් නැත. මහණෙනි, මේ වනාහි මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ කරුණු සහිතවූ පළමුවැනි නිග්‍රහය වේ.
“මහණෙනි, මේ පුරුෂ පුද්ගල තෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, ඒ සියල්ල ඊශ්වරයා විසින් මවන ලද බැවින්යයි මෙසේ කියන්නාවූ, මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. “ආයුෂ්මතුනි, තෙපි මේ පුරුෂ පුද්ගල තෙම, යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, ඊෂ්වරයා විසින් මවන ලද බැවින්යයි මෙබඳු වාද ඇත්තාහුය, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑද? කියායි. “මෙසේ මා විසින් අසන ලද්දාවූ ඔවුහු ඉදින් එසේයයි කියත් නම් මම ඔවුන්ට මෙසේ කියමි. (කෙසේද) ‘ආයුෂ්මතුනි, එසේ වී නම් ඊශ්වරයා විසින් මැවීම නිසා ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා සොරකම් කරන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා බඹසර නැත්තෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා බොරු කියන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා කේලාම් කියන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා ප්‍රලාප කියන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා අභිධ්‍යාව බහුලකොට ඇත්තෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා ව්‍යාපාද සිත් ඇත්තෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා මිත්‍යා දෘෂ්ටි ඇත්තෝ වන්නාහුය’ යි කියායි.
“මහණෙනි, ඊශ්වරයා විසින් මැවීම වනාහි සාර වශයෙන් ගන්නවුන්ට මෙය කටයුතුය කියා හෝ මෙය නොකටයුතුය කියා හෝ කැමැත්තක් හෝ උත්සාහයක් හෝ නැත්තේය. මෙසේ කටයුතු නොකටයුතු දෙක වනාහි සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් නොලබන කල්හි, මුළාවූ සිහියෙන් ආරක්‍ෂා රහිතව වාසය කරන්නවුන්ට තම තමන්ගේ කරුණු සහිතවූ ශ්‍රමණ වාදයක් නැත. මහණෙනි, මේ වනාහි මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ කරුණු සහිතවූ දෙවැනි නිග්‍රහය වේ.
“මහණෙනි, මේ පුරුෂ පුද්ගල තෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, ඒ සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීය යයි මෙසේ කියන්නාවූ, මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. “ආයුෂ්මතුනි, තෙපි මේ පුරුෂ පුද්ගල තෙම, යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, ඒ සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීයයි මෙබඳු වාද ඇත්තාහුය, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑද? කියායි. “මෙසේ මා විසින් අසන ලද්දාවූ ඔවුහු ඉදින් එසේයයි කියත් නම් මම ඔවුන්ට මෙසේ කියමි. (කෙසේද) ‘ආයුෂ්මතුනි, එසේ වී නම් සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා සොරකම් කරන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා බඹසර නැත්තෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා බොරු කියන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා කේළාම් කියන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා ප්‍රලාප කියන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා අභිධ්‍යාව බහුලකොට ඇත්තෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා ව්‍යාපාද සිත් ඇත්තෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තෝ වන්නාහුය.’ යි කියායි.
“මහණෙනි, සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම වනාහි සාර වශයෙන් ගන්නවුන්ට මෙය කටයුතුය කියා හෝ මෙය නොකටයුතුය කියා හෝ කැමැත්තක් හෝ උත්සාහයක් හෝ නැත්තේය. මෙසේ කටයුතු නොකටයුතු දෙක වනාහි සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් නොලබන කල්හි, මුළාවූ සිහියෙන් ආරක්‍ෂා රහිතව වාසය කරන්නවුන්ට තම තමන්ගේ කරුණු සහිතවූ ශ්‍රමණ වාදයක් නැත. මහණෙනි, මේ වනාහි මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ කරුණු සහිතවූ තුන්වැනි නිග්‍රහය වේ.”