3. 2. 2. 8. තීර්ත්‍ථය පුච්ඡා සූත්‍රය
18. “මහණෙනි. ඉදින් අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ, ඇවැත්නි, මේ ධර්‍මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙත්ද? රාගයද, දෝසයද, මෝහයද යන තුනයි. ඇවැත්නි, මේ ධර්‍මයෝ තිදෙන වෙත්. ඇවැත්නි, මේ තුන් ධර්‍මයන්ගේ විශේෂය කුමක්ද. අභිප්‍රාය කුමක්ද, වෙනස කුමක්දැයි, ඉදින් අසන්නාහුද, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට කුමකැයි ප්‍රකාශ කරන්නාහුද?
“ස්වාමීනි, අපහට ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නායක කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. මේ වදාරණ ලද කාරණයාගේ අර්ත්‍ථය භාග්‍යවතුන් වහන්සේම ප්‍රකට කරණ සේක් නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරා ගන්නාහුය” යි කීහ.
“මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
‘මහණෙනි. ඉදින් අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ, ඇවැත්නි, මේ ධර්‍මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙත්ද? රාගයද, දෝසයද, මෝහයද යන තුනයි. ඇවැත්නි, මේ ධර්‍මයෝ තිදෙන වෙත්. ඇවැත්නි, මේ තුන් ධර්‍මයන්ගේ විශේෂය කුමක්ද. අභිප්‍රාය කුමක්ද, වෙනස කුමක්දැයි, ඉදින් අසන්නාහුද, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට කුමකැයි ප්‍රකාශ කරන්නාහුද? “මෙසේ අසන ලද්දාවූ තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව්. කෙසේද? ‘ඇවැත්නි, රාගය වනාහි ස්වල්ප වරද ඇත්තේය. දුරුවීමට කල් ගතවන්නේය. ද්වේෂය මහත් වරද ඇත්තේය. වහා දුරු වන්නේය. මෝහය මහත් වරද ඇත්තේය. දුරුවීමට කල් ගතවන්නේය.
“ඇවැත්නි, යමක් හේතුකොට ගෙන නූපන්නාවූ රාගය උපදීද, උපන්නාවූ රාගය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියිද ඊට හේතුව කුමක්ද, කාරණය කුමක්ද? සුභ ආරම්මණ යයි කිය යුතු වන්නේය.
සුභාරම්මණය නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන්නාවූ රාගය උපදියි. උපන්නාවූ රාගය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. යම් හේතුවකින් නූපන්නාවූ රාගය උපදියිද, උපන්නාවූ රාගය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. මේ ඊට හේතුවයි, කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන්නාවූ දෝෂය උපදියිද, උපන්නාවූ දෝෂය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියිද, ඊට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? ඇවැත්නි, ක්‍රෝධය උපදින අරමුණයයි කිව යුතුය.
ඇවැත්නි, ක්‍රෝධය උපදින අරමුණ නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන්නාවූ දෝෂය උපදියි. උපන්නාවූ දෝෂය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. ඇවැත්නි, යම් හේතුවකින් නූපන්නාවූ ද්වේෂය උපදියිද, උපන්නාවූ ද්වේෂය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියි. මේ ඊට හේතුවයි. කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන්නාවූ මෝහය උපදියිද, උපන්නාවූ මෝහය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියිද, ඊට හේතුව කුමක්ද, කාරණය කුමක්ද? ඇවැත්නි, නුනුවණින් මෙනෙහි කිරීමයයි කිව යුතුය.
නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන්නාවූ මෝහය උපදියි. උපන්නාවූ මෝහය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. යම් හේතුවකින් නූපන්නාවූ මෝහය උපදියිද, උපන් මෝහය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. මේ ඊට හේතුවයි. කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන්නාවූ රාගය නූපදියිද, උපන්නාවූ රාගය දුරුවෙයිද, ඊට හේතුව කවරේද. කාරණය කවරේද? අසුභාරම්මණයයි කිය යුතුය.
අසුභාරම්මණය නුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන් රාගය නූපදියි. උපන් රාගය දුරුවෙයි. යම් හේතුවකින් නූපන් රාගය නූපදීද, උපන්නාවූ රාගය දුරුවෙයිද, මේ ඊට හේතුවයි. කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන් ද්වේෂය නූපදියිද, උපන් ද්වේෂය දුරුවෙයිද, ඊට හේතුව කුමක්ද?. කාරණය කුමක්ද? මෛත්‍රී සමාධියයයි කිය යුතුය.
මෛත්‍රී සමාධිය නුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන් ද්වේෂය නූපදියි. උපන් ද්වේෂය දුරුවෙයි. ඇවැත්නි, යම් හේතුවකින් නූපන් ද්වේෂය නූපදීද, උපන්නාවූ ද්වේෂය දුරුවෙයිද, මේ ඊට හේතුවයි. කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන් මෝහය නූපදියිද, උපන් මෝහය දුරුවෙයිද, ඊට හේතුව කුමක්ද?. කාරණය කුමක්ද? නුවණින් මෙනෙහි කිරීමයයි කිය යුතුය.
නුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන් මෝහය නූපදියි. උපන් මෝහය දුරුවෙයි. ඇවැත්නි, යමක් හේතුකොට ගෙන නූපන් මෝහය නූපදීද, උපන්නාවූ මෝහය දුරුවෙයිද, මේ ඊට හේතුවයි. කාරණයයි.”
3. 2. 2. 9. කුසලාකුසල මූල සූත්‍රය
19. “මහණෙනි, මේ අකුසල මූලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද, ලෝභය අකුසල් මුලකි. දෝෂය අකුසල් මුලකි. මෝහය අකුසල් මුලකි.
“මහණෙනි, යම් ලෝභයක් වේද, එයද අකුසලයකි. ලෝභයෙන් ඇලුණාවූ පුද්ගල තෙමේ, කයින්, වචනයෙන්, සිතින් යමක් රැස්කරයිද, එයද අකුසල් වෙයි. ඇලුණාවූ ලෝභයෙන් මඩනා ලද්දාවූ, විනාශ කරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවතෙක්මි. බලය ප්‍රයෝජන කොට ඇත්තෙක් වෙමි’ යි වධ කිරීමෙන් හෝ, බන්‍ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් උපදවාද, එයද අකුසල් වන්නේය. මෙසේ ඔහුට ලෝභයෙන් හට ගන්නාවූ, ලෝභය නිදාන කොට ඇත්තාවූ, ලෝභය නිසා පහළ වන්නාවු, ලෝභය ප්‍රත්‍යය කොට ඇත්තාවූ නොයෙක් ලාමක අකුසල ධර්‍මයෝ හටගනිත්.