3. 2. 2. 5. කාලාම සූත්‍රය
15. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයන්හි මහත් භික්‍ෂු සංඝයා සමග චාරිකාවෙහි වඩිනුයේ කාලාම නම් ක්‍ෂත්‍රියයන්ගේ කෙසපුත්ත නම් නියම්ගම යම් තැනෙක්හිද, එහි වැඩි සේක. කේසපුත්ත නියම්ගම වැසි කාලාම නම් ක්‍ෂත්‍රියයෝ මේ කාරණය ඇසුවාහුය. කුමක්ද? ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය කුලයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කේසපුත්ත නම් නියම්ගමට පැමිණියහ. “ඒ භාග්‍යවත් ගෞතමයන් පිළිබඳව මෙවැනි යහපත් කීර්ති ශබ්දයක් පැන නැංගේය. ඒ භවත් ගෞතමයන් පිළිබඳව, ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ, සම්‍යක් සම්බුද්‍ධයහ, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසධම්ම සාරථීය, දෙවිමිනිසුන්ට ශාස්තෘය. චතුස්සත්‍යය අවබෝධ කළ සේක. භගවත්යයි මෙසේ යහපත්වූ කීර්ති ශබ්දය උස්ව පැනනැංගේය. හෙතෙම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, දෙව් මිනිසුන් සහිතවූ, ප්‍රජාව, තෙමේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ගෙණ ප්‍රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිත සියල්ලෙන් සම්පූර්ණවූ ධර්‍මය දේශනා කෙරෙයි. පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචරිය ප්‍රකාශ කෙරෙයි. එබඳුවූ රහතන් වහන්සේලාගේ දැකීම යහපත් වේය.’ කියායි.
ඉක්බිති කේසපුත්ත ගම්වැසි කාලාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහ. පැමිණ සමහරෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හිඳගත්හ. සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව කොට එක්පසෙක හිඳගත්හ. සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ එක් පසෙක හිඳගත්හ. සමහරෙක් නාම ගොත්‍ර අස්වා එක්පසෙක හිඳගත්හ. සමහරෙක් නිශ්ශබ්දව එක්පසෙක හිඳගත්හ. එක් පසෙක හිඳගත්තාවූ ඒ කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, මේ කේසපුත්ත ගමට එන්නාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු තමන්ගේ වාදයම දක්වත්. ප්‍රකාශ කරත්. අනික් වාදයන්ට ගරහත්, නින්‍දා කරත්, බැහැර කරත්. ස්වාමීනි, අනික් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කේසපුත්ත ගමට එත්. ඔවුහුද තමන්ගේ වාදයම කෙතෙක්ද දක්වත්, ප්‍රකාශ කරත්, අනික් වාදයන්ට ගරහත්, නින්‍දා කරත්, බැහැර කරත්, ස්වාමීනි, ඔවුන්ගේ කථා පිළිබඳව මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙන් කවරෙක් නම් සැබවක් කියයිද, කවරෙක් බොරු කියාදැයි අපට ෂාංකා ඇතිවන්නේ සැක ඇතිවන්නේය. කියායි.
“කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුයු.
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ ලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?” “ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, ලෝභයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ලෝභය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?” “ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ ද්වේෂය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?” “ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, ද්වේෂයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ද්වේෂය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?” “ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ මෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?” “ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, මෝහයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි මෝහය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?” “ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්‍මයෝ කුසල් හෝ වෙද්ද, අකුසල් හෝ වෙද්ද? “ස්වාමීනි, අකුසල්ය.”
“වරද වෙද්ද, නිවරද වෙද්ද?” “ස්වාමීනි, වරද වෙත්.”
“නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙද්ද?” “ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්.”
“සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක පිණිස පවතිද්ද, නොවෙද්ද, මෙහි තොපට කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, පුරන ලද, සමාදන්වන ලද මේ ධර්‍මයෝ අහිත පිණිස, දුක් පිණිස පවතිත් යනු මේ අපගේ අදහස වෙයි.”
“කාලාමයෙනි, යම් හෙයකින් මෙසේ යමක් කීයෙමුද? කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුය. එකල්හි තෙපි මෙසේ ඒ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී.