3. 2. 2. 6. නන්‍දකත්‍ථෙර සූත්‍රය
16. එවං මෙ සුතං : එක් සමයෙක්හි ආයුෂ්මත් නන්‍දක ස්ථවිර තෙමේ සැවැත්නුවර මිගාරමාතුපාසාද නම්වූ පූර්‍වාරාමයෙහි වාසය කරයි. එකල්හි මිගාර සිටුහුගේ මුනුපුරුවූ සාළ්හ තෙමේද, පෙඛුනිය සිටුහුගේ මුනුපුරුවූ රොහණ තෙමේද, ආයුෂ්මත් නන්‍දක ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියාහ. පැමිණ ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන්ට වැඳ එක්පසෙක හුන්හ. එක් පසෙක හුන් මිගාර සිටුහුගේ මුනුබුරුවූ සාළ්හට ආයුෂ්මත් නන්‍දක තෙමේ මෙසේ කීය :
සාළ්හයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. සාළ්හයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. සාළ්හයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, සාළ්හයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නහුය.
සාළ්හයෙනි, ඒ කුමකැයි හඟින්නහුද? ලෝභය ඇත්තේද? ස්වාමීනි. එසේය. සාළ්හයෙනි, මම අභිධ්‍යා යනුද මේ සඳහාම කියමි.
සාළ්හයෙනි, ලෝභයෙන් ඇලුණාවූ, අභිධ්‍යා බහුල කොට ඇත්තාවූ මෙතෙමේ සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යයි, බොරුද කියයි, ඔහුට යමක් බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වෙයි නම් අන්‍යයාද යොදවයිද? ස්වාමීනි. එසේය.
සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? ද්වේෂය ඇත්තේද? ස්වාමීනි, එසේය. සාළ්හයෙනි, මම ව්‍යාපාද යනුද ඒ සඳහාම කියමි.
සාළ්හයෙනි, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇති මෙතෙමේ සතුන් මරයි -පෙ- බොරුද කියයි. ඔහුට යමක් බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වෙයි නම් අන්‍යයාද යොදවයිද? ස්වාමීනි. එසේය.
සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? මෝහය ඇත්තේද? ස්වාමීනි, එසේය. සාළ්හයෙනි, මම අවිද්‍යා යනුද ඒ සඳහාම කියමි.
සාළ්හයෙනි, මුළාවූ අවිද්‍යාවෙන් යුක්තවූ මෙතෙමේ සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යයි, බොරුද කියයි, ඔහුට යමක් බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වෙයි නම් අන්‍යයාද යොදවයිද? ස්වාමීනි. එසේය.
සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්‍මයෝ කුසල් හෝ වෙත්ද, අකුසල් හෝ වෙත්ද? ස්වාමීනි, අකුසල්ය. වරද හෝ නිවරද හෝ වෙත්ද? වරද වෙත්. නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ වෙත්ද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙත්ද? ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්. පුරන ලද්දාහු, සමාදන්වන ලද්දාහු, අහිත පිණිස, දුක් පිණිස පවතිත්ද? නොපවතිත්ද? මෙහි තොපගේ අදහස කෙසේද? ස්වාමීනි, පුරන ලද්දාහු, සමාදන්වන ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස පවතිත්. මෙහි අපගේ අදහස මෙසේ වේය යි කීය.