3. 2. 2. 4. සරහ (පරිබ්බාජක) සූත්රය
14. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරන සේක. එකල්හි සරභ නම් පරිබ්රාජක තෙම මේ ශාසනයෙන් ඉවත්ව ගොස් නොබෝ කල් ඇත්තේ විය. හෙතෙම රජගහනුවර පිරිස් මැද මේ වචනය කියයි. කුමක්ද, “මා විසින් ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය දැනගන්නා ලදී. මම ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය දැනගෙන මෙසේ ඒ ධර්ම විනයෙන් අස්වූයෙමි.” යනුයි.
“ඉක්බිති බොහෝ භික්ෂූහු හැඳ පාත්ර සිව්රු ගෙන, රජගහනුවරට පිඬු පිණිස වැඩියහ. ඒ භික්ෂූහු ‘මා විසින් ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය දැනගන්නා ලදී. මම ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය දැනගෙන මෙසේ ඒ ධර්ම විනයෙන් අස්වූයෙමි.’ යන රජගහනුවර පිරිස් මැද කියන්නාවූ, ඒ සරහ පරිබ්රාජකයාගේ වචනය ඇසූහ.
ඉක්බිති ඒ භික්ෂූහු රජගහනුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක උන්හ. එක්පසෙහ හුන්නාවූ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මේ කාරණය කීහ.
“ස්වාමීනි, මේ ධර්ම විනය සංඛ්යාත ශාසනයෙන් නික්ම ගොස් නොබෝ කල් ඇති සරභ පරිබ්රාජක තෙමේ රජගහනුවර පිරිස් මැද මේ වචනය කියයි. ‘මා විසින් ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය දැනගන්නා ලදී. මම ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය දැනගෙන මෙසේ ඒ ධර්ම විනයෙන් අස්වූයෙමි.” යනුයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ සප්පිනිකා නම් ගංඉවුර යම් තැනෙකද, පරිබ්රාජකාරාමය යම් තැනකද, සරහ පරිබ්රාජකයා යම් තැනකද එහි වඩින සේක් නම් මැනවි” කියායි.
භාග්යවතුන් වහන්සේ තූෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස්භාගයෙහි විවේකයෙන් නැගී සිටියේ සප්පිනිකා ගංඉවුර යම් තැනෙක්හිද, පරිබ්රාජකාරාමය යම් තැනකද, සරහ පරිබ්රාජකයා යම් තැනෙක් හිද එහි වැඩියහ. වැඩමවා පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්යවතුන් වහන්සේ සරහ පරිබ්රාජකයාට මෙසේ වදාළ සේක. “සරභය, ඔබ මෙසේ කියන්නෙහි යනු ඇත්තක්ද? ‘ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය මා විසින් දැනගන්නා ලදී. මම ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය දැනගෙන මෙසේ දැන ඒ ධර්ම විනයෙන් අස්වූයෙමි.” යනුයි. මෙසේ කී කල්හි සරහ පරිබ්රාජක තෙමේ නිශ්ශබ්ද විය.
දෙවනුවද භාග්යවතුන් වහන්සේ “සරභය, ඔබ මෙසේ කියන්නෙහි යනු ඇත්තක්ද? ‘ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය මා විසින් දැනගන්නා ලදී. මම ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය දැනගෙන මෙසේ දැන ඒ ධර්ම විනයෙන් අස්වූයෙමි.” යනුයි. සරභ පරිබ්රාජකයාහට මෙසේ වදාළ සේක. “සරභය, කියව. තොප විසින් ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය කුමකැයි දැනගන්නා ලද්දේද? ඉදින් තොපගේ යම් අඩුවක් වන්නේ නම් මම එය සම්පූර්ණ කරන්නෙමි. ඉදින් තොපගේ දැනීම සම්පූර්ණ නම් මම අනුමෝදන් වන්නෙමි” යි වදාළ සේක. දෙවනුවද, සරභ පරිබ්රාජක තෙමේ නිශ්ශබ්ද විය.
තුන්වෙනුවත් භාග්යවතුන් වහන්සේ සරභ පරිබ්රාජකයාහට මෙසේ වදාළ සේක. “සරභය, කියව. තොප විසින් ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය කුමකැයි දැනගන්නා ලද්දේද? ඉදින් තොපගේ යම් අඩුවක් වෙයි නම් මම එය සම්පූර්ණ කරමි. ඉදින් තොපගේ දැනීම සම්පූර්ණ නම් මම අනුමෝදන් වන්නෙමි” යි වදාළ සේක. තුන්වෙනුවත්, සරභ පරිබ්රාජක තෙමේ නිශ්ශබ්ද විය.
ඉක්බිත්තෙන් වනාහි, ඒ පරිබ්රාජකයෝ සරභ නම් පරිබ්රාජකයාට මේ වචනය කීවාහුය. “ඇවැත් සරභයෙනි, නුඹ යමක් ශ්රමණ ගෞතමයන් ඉල්වන්නෙහි නම්, එයම තට ශ්රමණ ගෞතම තෙමේ පවරයි. ඇවැත් සරභයෙනි, කියව. තා විසින් ශ්රමණ ශාක්ය පුත්රයන්ගේ ධර්මය කුමකැයි කියා දැනගන්නා ලද්දේද? ඉදින් තොපගේ අඩුවක් වෙයි නම් ශ්රමණ ගෞතම තෙමේ එය සම්පූර්ණ කරන්නේය. ඉදින් තොපගේ දැනීම සම්පූර්ණ නම් ශ්රමණ ගෞතම තෙමේ අනුමෝදන් වන්නේය” යනුයි. මෙසේ කී කල්හි සරභ පරිබ්රාජක තෙම ඔද බිඳී ගොස් කර නමා බිම බලා නිහඬව කල්පනා කරමින් වැටහීමක් නැතිව හුන්නේය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සරභ නම් පරිබ්රාජකයා ඔද බිඳී ගොස් කර නමා බිම බලා නිහඬව කල්පනා කරමින් වැටහීමක් නැතිව හුන්නාහු දැන, පරිබ්රාජකයන්ට (මෙසේ) වදාළහ.
“පරිබ්රාජකයෙනි, යමෙක් වනාහි මට මෙසේ කියන්නේද, ‘මම සම්යක් සම්බුද්ධ වෙමියි ප්රතිඥා කරන්නාවූ ඔබ විසින් මේ ධර්මයෝ අවබෝධ නොකරණ ලද්දාහුය’ කියායි. මම ඔහුගෙන් කරුණු මනාකොට විචාරන්නෙමි. හේතු යුක්ති විමසන්නෙමි. කරුණු කියන්නෙමි. “මා විසින් කරුණු විචාරනු ලබන්නාවූ, හේතු යුක්ති විමසනු ලබන්නාවූ, කරුණු කියනු ලබන්නාවූ හෙතෙම කරුණු තුනකින් එක්තරා කරුණකට පැමිණේය යන මීට හේතු නැත්තේය. කවර තුනක්ද යත්, අන් වචනයකින් අන් වචනයක් වසන්නේය. කථාව අන් අතකට යොමු කරන්නේය. කෝපයද, ද්වේෂයද, නොසතුටු බවද පහළ කරන්නේය. නිශ්ශබ්දව, තෙද බිඳී, කර පාත් කොට, මුහුණ යටට හෙළා කල්පනා කරමින් කරුණු නොවැටහී සරභ පරිබ්රාජකයා මෙසේ හිඳින්නේය යන කරුණු තුනය.”