3. 2. 2. 3. වෙනාගපුර සූත්‍රය
13. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සංඝයා හා කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩිනුයේ වේනාගපුර නම් කොසොල් දනව් වාසීන්ගේ බමුණුගම යම් තැනෙක්හිද, එහි පැමිණියේය. වේනාගපුර වාසීවූ බ්‍රාහ්මණ ගෘහපතීහු මෙසේ ඇසුවාහුය: “ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණ ගෞතම තෙමේ වනාහි, වේනාග පුරයට පැමිණියේය. ඒ භවත් ගෞතමයන් පිළිබඳව, ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ, සම්‍යක් සම්බුද්‍ධයහ, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසධම්ම සාරථීය, දෙවිමිනිසුන්ට ශාස්තෘය. චතුස්සත්‍යය අවබෝධ කළ සේක. භගවත්යයි මෙසේ යහපත්වූ කීර්ති ශබ්දය උස්ව පැනනැංගේය. හෙතෙම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, දෙව් මිනිසුන් සහිතවූ, ප්‍රජාව, තෙමේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ගෙණ ප්‍රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිත සියල්ලෙන් සම්පූර්ණවූ ධර්‍මය දේශනා කෙරෙයි. පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචරිය ප්‍රකාශ කෙරෙයි. එබඳුවූ රහතන් වහන්සේලාගේ දැකීම යහපත් වේය.’ යනුයි.
ඉක්බිති වේනාගපුර බ්‍රාහ්මණ ගෘහපතීහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ ඇතැම් අය භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නාහුය. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ යම් දිසාවෙක්හිද, ඒ දිශාවට ඇඳිලි බැඳ, නමස්කාර කොට එකත් පසෙක හුන්නාහුය. ඇතැම්හු නාම ගෝත්‍ර කියා එක් පසෙක හුන්නාහුය. ඇතැම්හු නිශ්ශබ්දව එකත් පසෙක හුන්නාහුය. එකත් පසෙක හුන් වේනාගපුර වාසීවූ වච්ඡගොත්ත බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය:
“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයකි. භවත් ගෞතමයන් වහන්ස, පුදුමයකි. භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ශරීර වර්‍ණය පිරිසිදුය, පැහැපත්ය.
භවත් ගෞතමයන් වහන්ස, යම්සේ වනාහි සරත් කාලයෙහි හටගත්තාවූ, වඩා නොපැසුනු ඩෙබර ඵලයක් පිරිසිදු වේද, පැහැපත් වේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන්ගේ ඉන්‍ද්‍රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවි වර්‍ණය පිරිසිදුය. පැහැපත්ය. එකෙණෙහි නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියක් යම්සේ පිරිසිදු වේද, පැහැපත් වේද, එසේම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවි වර්‍ණය පිරිසිදුය. පැහැපත්ය.
“භවත් ගෞතමයන් වහන්ස, දක්‍ෂවූ කර්‍මාර පුත්‍රයෙකු විසින් මනාකොට පරිකර්‍ම කරණ ලද්දාවූ, කෝවෙහි දමා මනාකොට මට්ටම් කරන ලද්දාවූ, රත් පලසක ලබන ලද්දාවූ, ජාම්බොනද රත්රනක් යම්සේ බබලන්නේද, දිලිසෙන්නේද, එලිය වැටෙන්නේද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවි වර්‍ණය පිරිසිදුය. පැහැපත්ය.
භවත් ගෞතමයන් වහන්ස, ඒකාන්තයෙන්ම යම් ඒ උච්චාසයන මහාසයනයෝ වෙද්ද, “ඒ නම් දික්හඟලාපුටුය. පර්‍ය්‍යඞ්කය දිග් ලොම් ඇති මහ කොඳු පලස්ය, එළු ලොම් ඇතිරිය, සුදු එළු ලොම් ඇතිරිය, ඝන පුප් ඇතිරිය, පුලුනින් කළ ඇතිරිය, සිංහ, ව්‍යාඝ්‍රාදී රූපයෙන් විසිතුරුවූ එළු ලොම් ඇතිරිය. දෙදාවලු ඇති එළු ලොම් ඇතිරිය, එක්දාවලු ඇති එළු ලොම් ඇතිරිය, රත්න මිශ්‍රව කළ කොසෙය්‍ය ඇතිරිය, කොසෙය්‍ය නූලින් කළ ඇතිරිය, නාටක ස්ත්‍රීන් සොළොස් දෙනෙකුට නැටීමට සුදුසු එළුලොම් ඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, රථයන්හි අතුරණ ඇතිරිය, ඇඳුම් දිවිසම්ය, කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණුය, උඩුවියන් සහිතවූ, දෙපාර්‍ශවයෙහි රතු කොට්ට ඇති අසුන්ය යන මේයි. “භවත් ගෞතම තෙමේ එකාන්තයෙන් මෙබඳුවූ උච්චාසයන, මහාසයන කැමතිසේ ලබන්නේය. පහසුවෙන් ලබන්නේය. නොවෙහෙසී ලබන්නේය.” යි කීය.
[භාග්‍යවතුන් වහන්සේ:]
“බමුණ, යම් ඒ උච්චාසයන, මහාසයනයෝ වෙද්ද, ඒ නම් දික්හඟලාපුටුය. පර්‍ය්‍යඞ්කය දිග් ලොම් ඇති මහ කොඳු පලස්ය, එළු ලොම් ඇතිරිය, සුදු එළු ලොම් ඇතිරිය, ඝන පුප් ඇතිරිය, පුලුනින් කළ ඇතිරිය, සිංහ, ව්‍යාඝ්‍රාදී රූපයෙන් විසිතුරුවූ එළු ලොම් ඇතිරිය. දෙදාවලු ඇති එළු ලොම් ඇතිරිය, එක්දාවලු ඇති එළු ලොම් ඇතිරිය, රත්න මිශ්‍රව කළ කොසෙය්‍ය ඇතිරිය, කොසෙය්‍ය නූලින් කළ ඇතිරිය, නාටක ස්ත්‍රීන් සොළොස් දෙනෙකුට නැටීමට සුදුසු එළුලොම් ඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, රථයන්හි අතුරණ ඇතිරිය, ඇඳුම් දිවිසම්ය, කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණුය, උඩුවියන් සහිතවූ, දෙපාර්‍ශවයෙහි රතු කොට්ට ඇති අසුන්ය යන මේයි. ඒ උච්චාසයන, මහාසයන පැවිද්දන්ට දුර්ලභයහ. ලබන ලද්දාහුද, කැප නොවෙත්.
බමුණ, යම් උච්චාසයන, මහාසයනයක් මම දැන් කැමතිසේ ලබන්නෙම්ද, පහසුවෙන් ලබන්නෙම්ද, නිදුකින් ලබන්නෙම්ද, එබඳු උච්චාසයන, මහාසයන තුනක් වෙත්. කවර තුනක්ද, දිව්‍ය උච්චාසයන, මහාසයනය, බ්‍රහ්ම උච්චාසයන, මහාසයනය, ආර්‍ය්‍ය උච්චාසයන, මහාසයනය යන මේයි. බමුණ, මම යම් උච්චාසයන, මහාසයනයක් දැන් කැමතිසේ ලබන්නෙම්ද, පහසුවෙන් ලබන්නෙම්ද, නිදුකින් ලබන්නෙම්ද, මේ තුන වෙත්.”