2. අමාතා පුත්තික භය සූත්රය
12. “මහණෙනි, මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද, භය තුනක් අශ්රෘතවත් පෘථග්ජන තෙම ප්රකාශ කරයි. කවර තුනක්ද? මහණෙනි, මහ ගින්නක් උපදින්නාවූ කාලයක් වෙයි. මහණෙනි, ඒ මහ ගින්නක් උපන් කල්හි එයින් ගම්ද දැවෙත්. නියම් ගම්ද දැවෙති. නගරද දැවෙති. ගම්ද දැවෙන කල්හි, නියම් ගම්ද දැවෙන කල්හි, නගරද දැවෙන කල්හි එහි මවද පුතා නොලබයි. පුතාද මව නොලබයි. මහණෙනි, මේ මවට පුතා නැත්තාවූ, පුතාට මව නැත්තාවූ පළමුවැනි භයයයි අශ්රුතවත් පෘථග්ජන තෙම ප්රකාශ කරයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මහා වර්ෂා වසින්නාවූ කාලයක් වෙයි. මහණෙනි, මහා වර්ෂාවක් වට කල්හි මහත් ජල ගැල්මක් ඇතිවෙයි. මහණෙනි, මහා ජලගැල්මක් වූ කල එයින් ගම්ද යටවෙයි. නියම් ගම්ද යට වෙයි. නගරද යට වෙයි. ගම්ද යටවූ කල්හි, නියම් ගම්ද යටවූ කල්හි, නගරද යටවූ කල්හි, මවුද පුතා නොලබයි. පුතාද මව නොලබයි. මහණෙනි, මේ දෙවැනිවූ මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද භය යයි දෙවෙනි අශ්රුතවත් පෘථග්ජනයා කියයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, යම් හේතුවක් භයක් හටගනීද, පල් හොරුන් ගම් වැද ගම් පැහැරීමේ භයින් ජනපද වාසීහු යාන වාහනාදියෙහි නැගී ඔබ මොබ යද්ද, පල් හොරුන් ගම් වැද ගම් පැහැරීමේ භයින් යාන වාහනාදියෙහි නැගී ජනපදවාසීන් ඔබ මොබ යන කල්හි මව පුතා නොලබයි. පුතා මව නොලබයි. මහණෙනි, මේ මවට පුතා නැත්තාවූ, පුතාට මව නැත්තාවූ තුන්වැනි භය යයි අශ්රුතවත් පෘථග්ජනයා කියයි. “මහණෙනි, මේ මවට පුතා නැත්තාවූ, පුතාට මව නැත්තාවූ භය තුනයයි අශ්රුතවත් පෘථග්ජනයා කියයි.
“මහණෙනි, මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද ඒ භය තුන, මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද භය තුනයයි අශ්රුතවත් පෘථග්ජනයා කියයි. “කවර තුනක්ද? මහණෙනි, මහා ගින්නක් හටගන්නා කැලයක් වන්නේය. මහණෙනි, මහා ගින්නක් හටගත් කල්හි එයින් ගම්ද දැවෙන්නේය. නියම් ගම්ද දැවෙති. නගරද දැවෙති. ගම්ද දැවෙන කල්හි, නියම් ගම්ද දැවෙන කල්හි, නගරයන්ද දැවෙන කල්හි, කිසිවිටෙක, මවට පුතා ලැබෙන්නාවූද, පුතාට මව ලැබෙන්නාවූ කාලයක්ද වන්නේය. මහණෙනි, මේ පළමුවැනි මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද භය, අශ්රුතවත් පෘථග්ජනයා මවට පුතා නැත්තාවූ, පුතාට මව නැත්තාවූද භය යයි කියයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මහා වැස්සක් වසින්නාවූ කාලයක් වන්නේය. මහා වැස්සක් වට කල්හි, මහ ගංවතුරක් වන්නේය. මහ ගංවතුරක් වූ කල්හි, ගම්ද යටවෙත්. නියම් ගම්ද යටවෙයි. නගරද යට වෙයි. ගම්ද යටවූ කල්හි, නියම් ගම්ද යටවූ කල්හි, නගරයන්ද යටවූ කල්හි යම් හෙයකින් කිසි කලෙක මව පුතා ලබන්නේය. පුතා මව ලබන්නේය. මහණෙනි, මේ දෙවැනිවූ, මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද භය, අශ්රුතවත් පෘථග්ජනයා, මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූ භය යයි කියයි.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, පල්හොරු ගම් පැහැරීමෙන් ජනපද වාසීහු යාන වාහනාදියෙන් ඔබ මොබ යන්නාවූ, භය උපදින්නාවූ කාලයක් වෙයි. පල්හොරු ගම් පැහැරීමේ භයින් ජනපද වාසී යාන වාහනාදියෙන් ඔබ මොබ යන කල්හි යම් හෙයකින් කිසි විටෙක මවද පුතා ලබන්නේය. පුතාද මව ලබන්නේය. මහණෙනි, මේ වනාහි, තුන්වැනිවූ, මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද භය අශ්රුතවත් පෘථග්ජනයා මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද භය යයි කියයි. “මහණෙනි, මේ මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද ඒ භය තුන, මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද භය තුනයයි අශ්රුතවත් පෘථග්ජනයා කියයි.
“මහණෙනි, මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද මේ භය තුනක් වෙත්. කවර තුනක්ද? ජරා භය, ව්යාධි භය, මරණ භය යන මේ තුනයි. මහණෙනි, මව දිරන්නාවූ පුතා පිළිබඳව, ‘මම දිරමි. මගේ පුතා නොදිරත්වා’ යන මෙය නොලබයි. පුතා හෝ දිරන්නාවූ මව පිළිබඳව, ‘මම දිරමි. මගේ මවු නොදිරාවා.’ යන මෙය නොලබයි.
“මහණෙනි, මවු ලෙඩ වන්නාවූ පුතා පිළිබඳව, ‘මම ලෙඩ වෙමි. මගේ පුතා ලෙඩ නොවේවා.’ යන මෙය නොලබයි. පුතා හෝ ලෙඩ වන්නාවූ මව පිළිබඳව, ‘මම ලෙඩ වෙමි. මගේ මවු ලෙඩ නොවේවා.’ යන මෙය නොලබයි.
“මහණෙනි, මවු, මැරෙන්නාවූ පුතා පිළිබඳව, ‘මම මැරෙමි. මගේ පුතා නොමැරේවා.’ යන මෙය නොලබයි. පුතා හෝ මැරෙන්නාවූ මව පිළිබඳව, ‘මම මැරෙමි. මගේ මවු නොමැරේවා.’ යන මෙය නොලබයි. මහණෙනි, මේ වනාහි මවට පුතා නොලැබෙන්නාවූද, පුතාට මව නොලැබෙන්නාවූද, භය තුනයි.
“මහණෙනි, මේ මවට පුතා ලැබෙන්නාවූත්, පුතාට මව ලැබෙන්නාවූත් භය තුනද, මවට පුතා නොලැබෙන්නාවූත්, පුතාට මව නොලැබෙන්නාවූත් භය තුනද පහ කිරීම පිණිස, ඉක්මවීම පිණිස, මාර්ගයක්, ප්රතිපදාවක් ඇත්තේය. මහණෙනි, මේ සමාතා පුත්තික හා අමාතා පුත්තික භය පහ කරණු පිණිස, ඉක්මවීම පිණිස පවත්නාවූ ඒ මාර්ගය, ප්රතිපදාව කවරේද? මේ ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය මැයි. ඒ කවරේද? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මෙයයි. මහණෙනි, මේ මාර්ගය, මේ ප්රතිපදාව, මේ සමාතා පුත්තික භය තුනද, අමාතා පුත්තික භය තුනද පහ කරණු පිණිස, ඉක්මවනු පිණිස පවත්නේ වෙයි.”