3. 2. 1. 9. ජානුස්සෝණී තෙවිජ්ජ සූත්රය
9. ඉක්බිති ජානුස්සෝණී බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ජානුස්සෝණී බ්රාහ්මණතෙම, භාග්යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, යමෙකුහට යාගයක් හෝ මතක බතක් හෝ සැළි බතක් හෝ දාන වස්තුවක් හෝ ඇත්තේ නම් ත්රිවිද්යා ඇති බ්රාහ්මණයනටම දෙන්නේය” යි කීය. “බ්රාහ්මණය, බමුණෝ කෙසේ නම් ත්රිවිද්යා ඇති බ්රාහ්මණයා පණවත්ද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණුතෙම මව් පසින්ද, පිය පසින්ද (යන) දෙපසින් මොනවට උපන්නේ වේද, සුපිරිසිදු මව් කුස ඇත්තේ වේද, හත්වෙනි මුතුන් පරම්පරාව දක්වා ජාතිවාදයෙන් (හෙවත්) මේ තෙම හීන ජාතියෙකැයි යන වචනයෙන් අත්හැර නොදමන ලද්දේ වේද, ආක්රොෂ නොකරණ ලද්දේ වේද, වේද මන්ත්ර හදාරන්නේ වේද, වේද මන්ත්ර දරන්නේ වේද, ක්රියා, කල්ප, විකල්ප සහිතවූ, අක්ෂර ප්රභේද සහිතවූ, (හෙවත්) ශික්ෂා නිරුක්ති ශාස්ත්ර සහිතවූ, ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ, ත්රිවේදයෙහි පරතෙරට පැමිණියේ වේද, පද හදාරන්නේ වේද, ව්යාකරණ දන්නේ වේද, විතණ්ඩවාද ශාස්ත්ර ලක්ඛණ දීපන ශාස්ත්රයන්ගෙන් සම්පූර්ණ වේද, භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ වනාහි ත්රිවිද්යා දත් පණ්ඩිතයා පණවත්ය” යි කීයේය.
“බමුණ, බමුණෝ ත්රිවිද්යා දත් බ්රාහ්මණයා අන් ආකාරයකින් පනවත්. ආර්ය්ය විනයෙහි අන් ආකාරයකින් ත්රිවිද්යා ඇත්තෙක් වේය” යි වදාළ සේක. “භවත් ගෞතමයන් වහන්ස, කෙසේනම් ආර්ය්ය විනයෙහි ත්රිවිද්යා ඇත්තෙක් වේද, එසේ මට භවත් ගෞතම තෙමේ ධර්මදේශනා කරණ සේක් නම් මැනවැ” යි කීය. “බමුණ, එසේ නම් අසව. මනාකොට මෙනෙහි කරව. කියන්නෙමි” යි වදාළ සේක. “පින්වතුන් වහන්ස, එසේය” යි ජානුස්සෝණී බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේට ප්රතිවචන දුන්නේය.
භාග්යවතුන් වහන්සේ, “බමුණ, මේ ශාසනයෙහි මහණතෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ප්රථම ධ්යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්යානයට පැමිණ වාසය කරයි. ප්රීතියගේ වෙන්වීමෙන් උපේක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්ය්යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්යානයට පැමිණ වාසය කරයි.”
හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්රවූ කල්හි, අංගන රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, ආනෙඤ්ජප්ප්රාප්තවූ කල්හි, පුබ්බේනිවාසානුස්සති ඥානය පිණිස සිත එළවයි. හෙතෙම අනේකවිධ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. එනම්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) “මම අසවල් තැන උපන්නෙම් මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි මෙසේ ආකාර සහිතවූ, නාම ගෝත්රවශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්ධයන් සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්යාව ලදී. අවිද්යාව නසන ලදී. විද්යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්ය්යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි.
හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්රවූ කල්හි, අංගන රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, ආනෙඤ්ජප්ප්රාප්තවූ කල්හි, සත්ත්වයන්ගේ චුතූපපාත ඥානය පිණිස සිත එළවයි. හෙතෙම විශුද්ධ වූ මිනිස් ඇස ඉක්මවූ දිවැසින් චුතවන උපදින සත්ත්වයන් දකියි. හීන වූ ද ප්රණීත වූ ද, මනා වර්ණ ඇති ද දුර්වර්ණ වූ ද, සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද, කම් වූ පරිදි මිය යන සත්ත්වයන් දැනගනී. මෙය ඔහු විසින් ලබන ලද දෙවන විද්යාවයි. අවිද්යාව නැසිණ, විද්යාව උපන. අඳුර නැසිණ, එළිය උපන. අප්රමත්තව කෙලෙස් තවන වීර්ය ඇතිව නිවනට මෙහෙයූ සිතින් යුතුව වසන්නහුට යම් සේ ද එසේ ය.
හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්රවූ කල්හි, කෙළෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, ආශ්රවක්ෂය ඥාණය පිණිස හිත යොදයි. හෙතෙම මෙය දුකයයි තතුසේ දැනගනී. මෙය දුකට හේතුවයයි තතු සේ දැනගනියි. මෙය දුක නැතිකිරීමයයි තතුසේ දැනගනියි. මේ දුක් නැති කිරීමට පැමිණෙන ප්රතිපදාවයයි තතුසේ දැනගනියි. මේ ආශ්රවයෝයි තතුවූ පරිද්දෙන් දනී. මේ ආශ්රවයන් පහළවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්රවයන් නැතිකිරීමට පමුණුවන ප්රතිපදාවයයි තතුසේ දැනගනී. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඒ භික්ෂුවගේ සිත කාමාශ්රවයන්ගෙන්ද මිදෙයි. භවාශ්රවයන්ගෙන්ද, අවිද්යාශ්රවයන්ගෙන්ද මිදෙයි. (ආශ්රවයන් කෙරෙන් සිත) මිදුන කල්හි මිදුනේයයි යන ඥාණය ඇතිවේ. ජාතිය ක්ෂය විය. බඹසර වැස නිමවන ලද්දේය. කටයුතු කරණ ලද්දේය. මෙයින් පසු අන් භවයක් නැත්තේ යයි දැනගනී. මොහු විසින් මේ තුන්වෙනි විද්යාව ලදී. අවිද්යාව නසන ලදී. විද්යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්ය්යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි.
යමෙක් තෙම සීලව්රත දෙකින් සමන්විතවූයේ වේද, හරණ ලද ආත්මාලය ඇත්තේ වේද, සන්සිඳුනේ වේද, යමෙකුගේ සිත තමහට වසඟවූයේ වේද, එකඟවූයේ වේද, මොනවට අරමුණෙහි තබන ලද්දේ වේද,
යම් ක්ෂීණාශ්රවයෙක් තෙම පෙර විසූ කඳ පිළිවෙළ දන්නේද, ස්වර්ගය හා අපාය දක්නේද, තවද, මනාව අවබෝධකොට කටයුතු නිමවූයේ, ජාතිය ක්ෂය කිරීමෙන් අර්හත් ඵලයට පැමිණියේද,
මේ ත්රිවිද්යාවෙන් බ්රාහ්මණතෙම ත්රිවිද්යා ඇත්තේ, ඔහු මම ත්රිවිද්යා ඇත්තේයයි කියමි. අන්යයන් විසින් කියන ලද වචන මාත්රයක් ඇති අනිකෙකු ත්රිවිද්යා ඇත්තෙකැයි නොකියමි.
බමුණ, මෙසේ වනාහි ආර්ය්ය විනයෙහි ත්රිවිද්යා ඇත්තෙක් වේයයි වදාළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, අන් පරිද්දකින් බමුණන්ගේ ත්රිවිද්යා ඇත්තෙක් වෙයි. ආර්ය්ය විනයෙහි අන් පරිද්දෙකින් ත්රිවිද්යා ඇත්තෙක් වෙයි. භවත් ගෞතමයින් වහන්ස, ආර්ය්ය විනයෙහි ත්රිවිද්යා ඇත්තා හා බමුණන්ගේ ත්රිවිද්යා ඇත්තා සොළොස්වන කලාවෙන් කලාවකුදු නොඅගියි.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා” යි කීයේය.
3. 2. 1. 10. සංගාරව සූත්රය
10. ඉක්බිත්තෙන් වනාහි සංගාරව නම් බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක හුන්නාවූ සඞ්ගාරව නම් බ්රාහ්මණ තෙම, ‘භවත් ගෞතමයන් වහන්ස, අපි බමුණෝ වෙමු, යාග කරන්නෝද වෙමු, යාග තරවන්නෝද වෙමු, භවත් ගෞතමයන් වහන්ස, එහි යමෙක් යාග කරහිද, යාග කරවයිද, ඒ සියල්ලෝ මේ යාගය හේතුකොට ගෙණ නොයෙක් ශරීරයන්ගෙන් උපදනාවූ පුණ්ය ප්රතිපදාවට පිළිපන්නේ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, මේ යමෙක් තෙම යම් ඒ කුලයකින් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිව, එක්කෙනෙකුවූ තමාම දමනය කෙරෙයිද, එක්කෙනෙකුවූ තමාම සමනය කෙරේද, එක්කෙනෙක්වූ තමාම නිවී කෙලෙස් නිවීම කෙරේද, මෙසේ හෙතෙම යම් මේ ප්රව්රජ්ජාව හේතුකොට ගෙණ එකම ශරීරයෙන් උපදනා පුණ්ය ප්රතිපදාවට පිළිපන්නේ වේය” යි කීයේය.