1. බ්‍රාහ්මණ වර්ගය
3. 2. 1. 1. ජරූපනීය සූත්‍රය
සැවැත් නුවර නිදානයි
1. ඉක්බිත්තෙන් වනාහි, ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තාවූ, බමුණෝ දෙදෙනෙක්, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එකත්පසෙක හුන්නාහුය. එකත්පසෙක හුන් ඒ බමුණෝ භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, අපි ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තාවූ, බමුණෝ වෙමු. ඒ අපි නොකරණ ලද යහපත් ක්‍රියා ඇත්තෝ වෙමු. නොකරණ ලද කුශල් ඇත්තෝ වෙමු. නොකරණ ලද භය ආරක්‍ෂා ඇත්තෝ වෙමු. යමක් බොහෝ කාලයක් මුළුල්ලෙහි අපට හිත පිණිස, සැප පිණිස වන්නේද, එවැනි අවවාදයකින් භවත් ගෞතමයන් වහන්සේ අපට අවවාද කරණ සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ අපට අනුශාසනා කරණ සේක්වා” යි සැළකෙළේය.
“බ්‍රාහ්මණයෙනි, ඒකාන්තයෙන් තෙපි ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තෝ වූවහුය, ඒ තෙපිද නොකරණ ලද යහපත් ක්‍රියා ඇත්තෝ වන්නහුය. නොකරණ ලද කුශල් ඇත්තාහුය. නොකරණ ලද භය ආරක්‍ෂා ඇත්තෝ වන්නහුය. බමුණෙනි, මේ ලෝකය ජරාවෙන්ද, රෝගයෙන්ද, මරණයෙන්ද ගෙනයනු ලැබේ. බමුණෙනි, මෙසේ ජරාවෙන්ද, ව්‍යාධියෙන්ද, මරණයෙන්ද ගෙනයනු ලබන ලෝකයෙහි යමෙක් කයින් හික්මෙයිද, වචනයෙන් හික්මෙයිද, සිතින් හික්මෙයිද, එය පරලොව ගියාවූ ඔහුට ආරක්‍ෂාවද, සැඟවෙන ගුහාවද, සරණද, පිහිටද වෙයි.
1. “ජීවිතය මරණය කරා ගෙනයනු ලැබේ. ආයුෂය ඉතා ස්වල්පය. ජරාව විසින් මරණය කරා ගෙන යන්නහුට ආරක්‍ෂාවක් නැත. මරණය පිළිබඳව මේ තුන් භය දකිමින්, සැප එළවන්නාවූ පින් කරන්නේය.
2. මේ ලෝකයෙහි ජීවත්වෙන පුද්ගලතෙම යම් හෙයකින් පින් කරයිද, ඔහුගේ කයින් වචනයෙන් සහ සිතින් යම් හික්මීමක් වෙයිද, එය පරලොව ගියාවූ ඔහුට සැප පිණිස වෙයි.
3. 2. 1. 2. අදිත්තාගාර සූත්‍රය
2. ඉක්බිත්තෙන් වනාහි, ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තාවූ, බමුණෝ දෙදෙනෙක්, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එකත්පසෙක හුන්නාහුය. එකත්පසෙක හුන් ඒ බමුණෝ භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, අපි ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තාවූ, බමුණෝ වෙමු. ඒ අපි නොකරණ ලද යහපත් ක්‍රියා ඇත්තෝ වෙමු. නොකරණ ලද කුශල් ඇත්තෝ වෙමු. නොකරණ ලද භය ආරක්‍ෂා ඇත්තෝ වෙමු. යමක් බොහෝ කාලයක් මුළුල්ලෙහි අපට හිත පිණිස, සැප පිණිස වන්නේද, එවැනි අවවාදයකින් භවත් ගෞතමයන් වහන්සේ අපට අවවාද කරණ සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ අපට අනුශාසනා කරණ සේක්වා” යි සැළකෙළේය.
“බ්‍රාහ්මණයෙනි, ඒකාන්තයෙන් තෙපි ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තෝ වූවහුය, ඒ තෙපිද නොකරණ ලද යහපත් ක්‍රියා ඇත්තෝ වන්නහුය. නොකරණ ලද කුශල් ඇත්තාහුය. නොකරණ ලද භය ආරක්‍ෂා ඇත්තෝ වන්නහුය. බ්‍රාහ්මණයෙනි, මේ ලෝකය ජරාවෙන්ද, ව්‍යාධියෙන්ද, මරණයෙන්ද ඇවිල ගත්තේය. බමුණෙනි, මෙසේ ඇවිලගත් ලෝකයෙහි, කයින්, වචනයෙන්, සිතින් යම් හික්මීමක් වේ නම්, එය පරලොව ගිය ඔහුට ආරක්‍ෂාවද, සැඟවෙන ගුහාවද, සරණද, පිහිටද වේය” යි වදාළ සේක.
3. “ගෙයක් ගිණිගෙණ දන කල්හි යම්කිසි භාණ්ඩයක් බැහැර කෙළේද, එය ඔහුට ප්‍රයෝජනය පිණිස වෙයි. යමක් එහි දැවේද, එය ප්‍රයෝජනය පිණිස නොවේ.
4. “මෙසේ ලෝකය ජරාවෙන්ද, මරණයෙන්ද දල්වන ලද්දේය. (එහෙයින්) දාහයෙන් ඒ ඇවිලගත් දෙය බැහැර කරන්නේමය. දෙන ලද්ද මොනවට බැහැර කරණ ලද්දේ වේ.
5. “මේ ලෝකයෙහි ජීවත්වන පුද්ගලතෙම යම් හෙයකින් පින් කරයිද, ඔහුගේ කයින්, වචනයෙන් සහ සිතින් යම් හික්මීමක් වෙයිද, පරලොව ගියාවූ ඔහුට සැප පිණිස වෙයි.”
3. 2. 1. 3. සන්‍දිට්ඨික ධම්ම සූත්‍රය
3. “ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සිහිකටයුතුවූ කථාව කොට එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, ධර්‍මය තෙම ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි ගුණ ඇත්තේයයි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් ධර්‍මය තෙම ප්‍රත්‍යක්‍ෂව දැක්ක යුතු ගුණ ඇත්තේ වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේ වේද, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේ වේද, තමන්ගේ සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේ වේද, නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වේදැ” යි ඇසීය.
“බ්‍රාහ්මණය, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තාවූ, ඇලුණාවූ පුද්ගල තෙම, තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි. රාගය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද තොසිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිසද නොසිතයි. මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්‍රාහ්මණය, මෙසේද ධර්‍මය තෙම ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි. “බමුණ, ද්වේෂයෙන් මඩනා ලද්දාවූ, ද්වේෂයෙන් විනාශ කරණ ලද්දාවූ සිත් ඇත්තාවූ පුද්ගල තෙම, තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි. ද්වේෂය ප්‍රහීණවූ කල්හි, තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි. මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්‍රාහ්මණය, මෙසේද ධර්‍මය තෙම ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි. “බමුණ, මෝහයෙන් මඩනා ලද්දාවූ, මෝහයෙන් විනාශ කරණ ලද්දාවූ, සිත් ඇති පුද්ගල තෙම, තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි. මෝහය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි. මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්‍රාහ්මණය, මෙසේද ධර්‍මය තෙම ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා” යි කීයේය.