3. 2. 1. 10. සංගාරව සූත්‍රය
10. ඉක්බිත්තෙන් වනාහි සංගාරව නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක හුන්නාවූ සඞ්ගාරව නම් බ්‍රාහ්මණ තෙම, ‘භවත් ගෞතමයන් වහන්ස, අපි බමුණෝ වෙමු, යාග කරන්නෝද වෙමු, යාග තරවන්නෝද වෙමු, භවත් ගෞතමයන් වහන්ස, එහි යමෙක් යාග කරහිද, යාග කරවයිද, ඒ සියල්ලෝ මේ යාගය හේතුකොට ගෙණ නොයෙක් ශරීරයන්ගෙන් උපදනාවූ පුණ්‍ය ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, මේ යමෙක් තෙම යම් ඒ කුලයකින් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිව, එක්කෙනෙකුවූ තමාම දමනය කෙරෙයිද, එක්කෙනෙකුවූ තමාම සමනය කෙරේද, එක්කෙනෙක්වූ තමාම නිවී කෙලෙස් නිවීම කෙරේද, මෙසේ හෙතෙම යම් මේ ප්‍රව්‍රජ්ජාව හේතුකොට ගෙණ එකම ශරීරයෙන් උපදනා පුණ්‍ය ප්‍රතිපදාවට පිළිපන්නේ වේය” යි කීයේය.
“බමුණ, එසේ වී නම් මේ කාරණයෙහි ලා තගෙන්ම අසන්නෙමි. තට යම් සේ කැමති වන්නේද, එසේ එය ප්‍රකාශ කරන්නෙහිය. බ්‍රාහ්මණය, ඒ කුමකැයි හඟින්නෙහිද? අර්‍හත්වූ, සම්මා සම්බුද්‍ධවූ, අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුක්තවූ, ශෝභන ගමන් ඇත්තාවූ, ලෝකය දත්තාවූ, පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ගේ ගුරුවූ, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, භාග්‍යවත්වූ තථාගත තෙමේ මේ ලෝකයෙහි උපදියි. හෙතෙම මෙසේ කියයි. ‘මෙහි එව. මේ මාර්ගය වන්නේය, මේ ප්‍රතිපදාව වන්නේය. යම් සේ එම මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට ප්‍රතිෂ්ඨාවවූ නිර්වාණය තෙමේම විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කෙරෙම්ද, තෙපිද එව්. යම්සේ පිළිපන්නාවූ තෙපිද නිරුත්තරවූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට ප්‍රතිෂ්ඨාවවූ නිර්වාණය තෙමේ ප්‍රත්‍යක්‍ෂ කොට ගෙන, ඊට පැමිණ වාසය කරන්නාහුද, එසේ ඒ මාර්‍ගයෙන් පිළිපදිව්ය’ යි කියායි. එසේම මේ ශාස්තෘ තෙමේද ධර්ම දේශනා කෙරෙයි. අන්‍යයන්ද ඒ පිණිස පිළිපදිත්ද, ඔවුහු වනාහි නොයෙක් සිය ගණන්ද වෙත්. නොයෙක් දහස් ගනන්ද වෙත්. නොයෙක් ලක්‍ෂ ගනන්ද වෙත්.
බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද? මෙය මෙසේ ඇති කල්හි ප්‍රවෘජ්ජාව හේතුකොටගෙන, මෙය එක සිරුරකින් හටගන්නාවූ පුණ්‍ය ප්‍රතිපදාවක් වේද, නොයෙක් සිරුරුවලින් හටගන්නා ප්‍රතිපදාවක් වේදැ” යි වදාළ සේක. “භවත් ගෞතමයන් වහන්ස. මෙස් ඇති කල්හි, මෙයද ප්‍රවෘජ්ජාව හේතුකොට ගෙන, නොයෙක් ශරීරයෙන් හටගන්නාවූ, පුන්‍ය ප්‍රතිපදාවක් වේය” යි කීය.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම සංගාරව බ්‍රාහ්මණයාට මෙසේ කීය. “බ්‍රාහ්මණය, මේ ප්‍රතිපදාවන් දෙක අතුරෙන් කවර නම් ප්‍රතිපදාවක් අඩු කටයුතු ඇත්තේද, අඩු හිරිහැර ඇත්තේද, වැඩි මහත් ඵල ඇත්තේද, වැඩි මහත් ආනිශංස ඇත්තේද වේයයි හඟින්නෙහිද?” යනුයි. මෙසේ කී කල්හි සංගාරව බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්සේද, භවත් ආනන්‍දයන් වහන්සේ යම්බඳු වෙත්ද, එබඳු උත්තමයෝ මා විසින් පිදිය යුත්තෝය. මා විසින් ප්‍රශංසා කටයුත්තෝය” යනුයි.
දෙවනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ සංගාරව බ්‍රාහ්මණයාට මෙසේ කීවේය. “බ්‍රාහ්මණය, මේ ප්‍රතිපදාවන් දෙක අතුරෙන් කවර නම් ප්‍රතිපදාවක් අඩු කටයුතු ඇත්තේද, අඩු හිරිහැර ඇත්තේද, වැඩි මහත් ඵල ඇත්තේද, වැඩි මහත් ආනිශංස ඇත්තේද වේයයි හඟින්නෙහිද?” යනුයි. දෙවනුවත් සංගාරව බ්‍රාහ්මණ තෙමේ මෙසේ කී කල්හි සංගාරව බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්සේද, භවත් ආනන්‍දයන් වහන්සේ යම්බඳු වෙත්ද, එබඳු උත්තමයෝ මා විසින් පිදිය යුත්තෝය. මා විසින් ප්‍රශංසා කටයුත්තෝය” යනුයි.
තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ, බ්‍රාහ්මණය, කවරෙකු තොප විසින් පිදිය යුතුද, කවරෙකු තොප විසින් පැසසිය යුතුදැයි මෙසේ නෙිවාචාරමි. බ්‍රාහ්මණය, මම තොපගෙන් මෙසේද විචාරමි. “බ්‍රාහ්මණය, මේ ප්‍රතිපදාවන් දෙක අතුරෙන් කවර නම් ප්‍රතිපදාවක් අඩු කටයුතු ඇත්තේද, අඩු හිරිහැර ඇත්තේද, වැඩි මහත් ඵල ඇත්තේද, වැඩි මහත් ආනිශංස ඇත්තේද වේයයි හඟින්නෙහිද?” යනුයි.