3. 2. 1. 8. තිකණ්ණ සූත්රය
8. එකල්හි තිකණ්ණ නම් බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක හුන්නාවූ, තිකණ්ණ නම් බමුණු තෙම වනාහි භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි ත්රිවේදය දන්නාවූ බමුණාගේ ගුණ කියයි. “ත්රිවේදය දන්නාවූ බමුණෝ මෙසේත් පණ්ඩිතයහ. ත්රිවේදය දන්නාවූ බ්රාහ්මණයෝ මෙසේත් බහුශ්රුතයහ” කියායි.
“බ්රාහ්මණය, බ්රාහ්මණයකු ත්රිවිද්යා දන්නෙකැයි කෙසේ නම් පනවද්ද?” “භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණුතෙම මව් පසින්ද, පිය පසින්ද (යන) දෙපසින් මොනවට උපන්නේ වේද, සුපිරිසිදු මව් කුස ඇත්තේ වේද, හත්වෙනි මුතුන් පරම්පරාව දක්වා ජාතිවාදයෙන් (හෙවත්) මේ තෙම හීන ජාතියෙකැයි යන වචනයෙන් අත්හැර නොදමන ලද්දේ වේද, ආක්රොෂ නොකරණ ලද්දේ වේද, වේද මන්ත්ර හදාරන්නේ වේද, වේද මන්ත්ර දරන්නේ වේද, ක්රියා, කල්ප, විකල්ප සහිතවූ, අක්ෂර ප්රභේද සහිතවූ, (හෙවත්) ශික්ෂා නිරුක්ති ශාස්ත්ර සහිතවූ, ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ, ත්රිවේදයෙහි පරතෙරට පැමිණියේ වේද, පද හදාරන්නේ වේද, ව්යාකරණ දන්නේ වේද, විතණ්ඩවාද ශාස්ත්ර ලක්ඛණ දීපන ශාස්ත්රයන්ගෙන් සම්පූර්ණ වේද, භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ වනාහි ත්රිවිද්යා දත් පණ්ඩිතයා පණවත්ය” යි කීයේය.
“බමුණ, බමුණෝ ත්රිවිද්යා දත් බ්රාහ්මණයා අන් ආකාරයකින් පනවත්. ආර්ය්ය විනයෙහි අන් ආකාරයකින් ත්රිවිද්යා ඇත්තෙක් වේය” යි වදාළ සේක. “භවත් ගෞතමයන් වහන්ස, කෙසේනම් ආර්ය්ය විනයෙහි ත්රිවිද්යා ඇත්තෙක් වේද, එසේ මට භවත් ගෞතම තෙමේ ධර්මදේශනා කරණ සේක් නම් මැනවැ” යි කීය. “බමුණ, එසේනම් අසව. යහපත්ව මෙනෙහිකරව. කියන්නෙමි” යි වදාළ සේක. “පින්වතුන් වහන්ස, එසේය” යි තිකණ්ණ බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේට ප්රතිවචන දුන්නේය. භාග්යවතුන් වහන්සේ මේ වදාළ සේක.
“බමුණ, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්රීතිය හා සැප ඇති ප්රථම ධ්යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්රීතිය හා සැප ඇති දෙවෙනි ධ්යානයට පැමිණ වාසය කරයි. ප්රීතිය පහව යාමෙන් උපෙක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආර්ය්යයෝ කියත්ද, ඒ තෘතීය ධ්යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්යානයට පැමිණ වාසය කරයි.”
“සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? ‘එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) ‘මම අසවල් තැන උපන්නෙම්, මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි... ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි’ මෙසේ ආකාර සහිතවූ, නාම ගෝත්රවශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්ධයන් සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්යාව ලදී. අවිද්යාව නසන ලදී. විද්යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්ය්යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි.”
“හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි... චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ, සත්ත්වයන් දැනගණී. කෙසේද? ‘පින්වත්නි, මේ සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු... නිරයෙහි උපන්නාහුය. පින්වත්නි මේ සත්ත්වයෝ වනාහි, කාය සුචරිතයෙන් යුක්තවූවාහු... ස්වර්ග ලෝකයෙහි උපන්නාහු’ කියායි. මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්... කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්ත්වයන් දැනගනිත්. ඔහු විසින් මේ දෙවෙනි විද්යාව ලදී. අවිද්යාව නසන ලදී. විද්යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය...”