3. 1. 4. 9. සුඛුමාල සූත්‍රය
39. “මහණෙනි, මම සිව්මැලි වෙමි. අතිශයින් සිව්මැලි වෙමි. මහණෙනි, මට වනාහි ඒ මාගේ පියාගේ නිවේසනයෙහි පොකුණු කරවන ලද්දාහු වෙත්. මගේ ප්‍රයෝජනය පිණිසම එක පොකුණෙක්හි නිලුපුල් පිපෙයි. එක් පොකුණෙක්හි හෙල පියුම් පිපෙයි. එක් පොකුණෙක්හි රත් පියුම් පිපෙයි. මහණෙනි, මම කසීරට නූපන්නාවූ සඳුනක් නොම දරමි. මහණෙනි, මේ මගේ හිස්වෙලුම කසී සලුවක් වෙයි. සැට්ටය කසී සලුවක් වෙයි. අඳනය කසී සලුවක් වෙයි. උතුරුසලුව කසී සලුවක් වෙයි. මහණෙනි, රෑ දාවල් දෙක්හිම මට ශීතලයක් හෝ උෂ්ණයක් හෝ රජස් හෝ තෘණ හෝ පිණි හෝ ස්පර්‍ශ නොකෙරේවායි ස්වෙත ඡත්‍රයක් දරනු ලබයි.
මහණෙනි, ඒ මට ප්‍රාසාද තුණක් වූහ. එක් ප්‍රාසාදයක් ශීත ඎතුවට සුදුසු වෙයි. එක් ප්‍රාසාදයක් ග්‍රීෂම ඎතුවට වෙයි. එක් ප්‍රාසාදයක් වර්‍ෂා ඎතුවට සුදුසු වෙයි. මහණෙනි, ඒ මම වනාහි වර්‍ෂා ඎතුවට සුදුසු ප්‍රාසාදයෙහි වැසි සාර මසෙහි, පුරුෂයන් රහිතවූ තූර්‍ය්‍යයන්ගෙන් විනෝදය ලබමින්, ප්‍රාසාදයෙන් පහළට නොබසිමි. මහණෙනි, සෙස්සන්ගේ ගෘහයන්හි දැසි කම්කරු පුරුෂයන්ට ඇඹුල් හොදි සමග නිවුඩු සාලේ බත් යම්සේ දෙනු ලැබේද, මහණෙනි, එසේ මාගේ පියාගේ ගෘහයෙහි දැසි කම්කරු පුරුෂයන්ට මස් ව්‍යංජන සහිත ඇල් සාලේ බත් දෙනු ලැබේ.
මහණෙනි, මෙවැනි සමෘධියකින්ද, මෙවැනි සිව්මැලි බවකින්ද යුත් මට මෙසේ අදහස්විය: “ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම වනාහි, තමා ජරාව ස්වභාවකොට ඇත්තේම, ජරාව නොඉක්මවූයේම, ජරාවට ගිය අනිකෙකු දැක, තමා ඉක්මවා හැකිළෙයි. අප්‍රිය කරයි. පිළිකුල් කරයි. ‘මම වනාහි ජරාව ස්වභාවකොට ඇත්තේ වෙමි. ජරාව නොනික්මවූයේ වෙමි. ජරාව ස්වභාවකොට ඇත්තාවූ, ජරාව නොනික්මවූ මම ජරාවට ගියාවූ අනිකෙකු දැක, තමා ප්‍රමාණය ඉක්මවා හැකිලෙන්නෙම් නම් අප්‍රිය කරන්නෙම් නම්, පිළිකුල් කරන්නෙම් නම්, එය මට සුදුසු නොවේය’ කියායි. මහණෙනි, මෙසේ සිතන්නාවූ ඒ මට යම් තරුණ මදයක් වූයේද, එය නැතිවිය.
“ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම වනාහි, තමා ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේම, ව්‍යාධිය නොඉක්මවූයේම, ව්‍යාධියට ගිය අනිකෙකු දැක, තමා ඉක්මවා හැකිළෙයි. අප්‍රිය කරයි. පිළිකුල් කරයි. ‘මම වනාහි ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේ වෙමි. ව්‍යාධිය නොනික්මවූයේ වෙමි. ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාවූ, ව්‍යාධිය නොනික්මවූ මම ව්‍යාධියට ගියාවූ අනිකෙකු දැක, තමා ප්‍රමාණය ඉක්මවා හැකිලෙන්නෙම් නම් අප්‍රිය කරන්නෙම් නම්, පිළිකුල් කරන්නෙම් නම්, එය මට සුදුසු නොවේය’ කියායි. මහණෙනි, මෙසේ සිතන්නාවූ ඒ මට යම් නීරෝගී මදයක් වූයේද, එය නැතිවිය.
“ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම වනාහි, තමා මරණය ස්වභාවකොට ඇත්තේම, මරණය නොඉක්මවූයේම, මරණයට ගිය අනිකෙකු දැක, තමා ඉක්මවා හැකිළෙයි. අප්‍රිය කරයි. පිළිකුල් කරයි. ‘මම වනාහි මරණය ස්වභාවකොට ඇත්තේ වෙමි. මරණය නොනික්මවූයේ වෙමි. මරණය ස්වභාවකොට ඇත්තාවූ, මරණය නොනික්මවූ මම මරණයට ගියාවූ අනිකෙකු දැක, තමා ප්‍රමාණය ඉක්මවා හැකිලෙන්නෙම් නම් අප්‍රිය කරන්නෙම් නම්, පිළිකුල් කරන්නෙම් නම්, එය මට සුදුසු නොවේය’ කියායි. මහණෙනි, මෙසේ සිතන්නාවූ ඒ මට යම් ජීවිත මදයක් වූයේද, එය නැතිවිය.
“මහණෙනි, මේ මදයෝ තුන්දෙනෙක් වෙත්. කවර තුන් දෙනෙක්ද යත්. තරුණ මදය, නීරෝග මදය, බොහෝකල් ජීවත්වීම් මදය යන තුන්දෙනයි. මහණෙනි, තරුණ මදයෙන් මත්වූ නූගත් පෘතග්ජනයා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. හෙතෙම කයින් දුසිරිත හැසිර, වචනයෙන් දුසිරිත හැසිර, සිතින් දුසිරිත හැසිර, ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, නපුරුව වැටෙන නරකයෙහි උපදී. මහණෙනි, නීරෝග මදයෙන් යුත්වූ, බොහෝකල් ජීවත්වීම් නමැති මදයෙන් මත්වූ, නූගත් පෘතග්ජන තෙම, කයින්, වචසින්, මනසින්, දුසිරිත්හි හැසිරෙයි, කයින්, වචසින්, මනසින්, දුසිරිත්හි හැසිර, ශරීරය බිඳීමෙන් මරණින් මතු, සැප නැති, නපුරු ගති ඇති, නපුරුව වැටෙන නරකයෙහි උපදී.
“මහණෙනි, තරුණ මදයෙන් මත්වූ මහණතෙම සිල් ප්‍රතික්‍ෂෙපකොට ගිහිබවට පෙරලෙයි. මහණෙනි, නීරෝග මදයෙන් මත්වූ මහණතෙම, සිල් ප්‍රතික්‍ෂෙපකොට ගිහිබවට පෙරලෙයි. බොහෝ කල් ජීවත්වන මදයෙන් යුක්තවූ මහණතෙම, සිල් ප්‍රතික්‍ෂෙපකොට ගිහි බවට පෙරලේයයි වදාළ සේක.
“ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාවූද, ජරාව ස්වභාවකොට ඇත්තාවූද, මරණය ස්වභාවකොට ඇත්තාවූද, පෘතග්ජනයෝ තුමූ ඒ ස්වභාව ධර්‍මයෝ ඒවූ පරිද්දෙන් ඇත්තාවූ පෘතග්ජනයෝ අන්‍යයන් පිළිකුල් කරත්.
“ඉදින් මම ඒ ස්වභාව ඇත්තාවූ සත්ත්‍වයන් කෙරෙහි පිළිකුල් කරන්නෙම් නම්, එබඳු ස්වභාව ඇත්තාවූ මට එය සුදුසු නොවන්නේමය.
“ඒ මම එසේ වාසය කරන්නෙම් උපධි රහිත නිර්‍වාණ ධර්‍මය අවබෝධ කොට නීරෝගී භාවයෙහිද, යෞවන භාවයෙහිද, ජීවිතයෙහිද යම් මදයෝ වෙත්ද,
“ඒ සියලු මදයන් නෛෂ්ක්‍රම්‍යයයි කියන ලද නිර්‍වාණයෙහි ක්‍ෂෙමභාවය දැක අභිභවනය කෙළෙමි. නිර්‍වාණය දක්නාවූ ඒ මට උත්සාහය වූයේය.
“මම දැන් කාමයන් සේවනය කිරීමට සුදුසු නොවෙමි. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය පිහිටකොට ඇත්තේ, ප්‍රවෘජ්ජාව හා සර්‍වඥතාඥානය උදෙසා නොපසුබස්නා වීර්‍ය්‍යය ඇත්තෙක් වන්නෙමි.”