4. දේවදූත වර්ගය
1. සබ්රහ්මක කුල සූත්රය
[සාවත්ථි නිදානයි]
31. “මහණෙනි, ස්වකීය ගෘහයෙහි යම් දූ දරුවන් විසින් මව්පියෝ පිදීම කරණ ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ බ්රහ්මයන් සහිත වෙත්. ස්වකීය ගෘහයෙහි යම් දූ දරුවන් විසින් මව්පියෝ පිදීම කරණ ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ පූර්වාචාර්ය්යයන් සහිත වෙත්. ස්වකීය ගෘහයෙහි යම් දූ දරුවන් මව්පියෝ පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ ආහාර පානාදියෙන් පිදිය යුත්තන් සහිත වෙත්. මහණෙනි, ‘බ්රහ්ම’ යන මෙය මව්පියන්ට නමකි. මහණෙනි, ‘පුබ්බාචරිය’ යන මෙය මව්පියන්ට නමකි. මහණෙනි, ‘ආහුනෙය්ය’ යන මෙය මව්පියන්ට නමකි. “ඊට හේතු කවරේද? මවුපියෝ පුත්රයන්ට බොහෝ උපකාර ඇත්තෝය. ජීවිතය ආරක්ෂා කරන්නෝද වෙති. පොෂ්ය කරන්නෝද වෙති. මේ ලෝකය පෙන්වන්නෝද වෙති.
“මවුපියෝ පුත්රයින්ට බ්රහ්මයයිද, පූර්වාචාර්ය්යයයිද, ආහුනෙය්ය යයිද කියනු ලැබෙත්. පුත්ර ප්රජාවට අනුකම්පා කරන්නෝය. එහෙයින් වනාහි පණ්ඩිත තෙමේ ඒ මවුපියන් නමස්කාර කරන්නේය.
“තවද ආහාරයෙන්ද, පානයෙන්ද, වස්ත්රයෙන්ද, සයනයෙන්ද, ඇඟ ඉලීමෙන්ද, නෑවීමෙන්ද, පා සේදීමෙන්ද සත්කාර කරන්නේය.
“මව්පියන් කෙරෙහි කරණලද ඒ උපස්ථාන හේතුවෙන්, පණ්ඩිතයෝ මෙලෙව්හිද ඔහුට ප්රශංසා කරත්. පරලෙව්හි ස්වර්ගයෙහිද සතුටුවේය” යි වදාළසේක.
2. ආනන්ද සමාධි පටිලාභ සූත්රය
32. ඉත්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ යම් තැනක්හිද එහි පැමිණි සේක. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්යවතුන් වහන්සේට, “ස්වාමීනි, යම්සේ විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේ යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යන මොහු නොවන්නාහුද, පිටත්හිද රූපාදී සියලු ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යන මොහු නොවන්නාහුද, යම්බඳුවූ අර්හත්ඵල සමාධියකට, අර්හත්ඵල ප්රඥාවකට පැමිණ වාසය කරන්නාහට මමය යන දෘෂ්ටිය මගේ යන තෘෂ්ණාව, මානානුසය යන මොහු නොවෙද්ද, එබඳු අර්හත්ඵල සමාධියකට හා අර්හත්ඵල ප්රඥාවකට පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධියක් ලැබීම භික්ෂූහට වන්නේදැ?” යි (ඇසීය.)
“ආනන්දය, යම්සේ විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේ යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යන මොහු නොවන්නාහුද, පිටත්හිද රූපාදී සියලු ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යන මොහු නොවන්නාහුය, යම්බඳුවූ අර්හත්ඵල සමාධියකට, අර්හත්ඵල ප්රඥාවකට පැමිණ වාසය කරන්නාහට මමය යන දෘෂ්ටිය මගේ යන තෘෂ්ණාව, මානානුසය යන මොහු නොවෙත්. එබඳු අර්හත්ඵල සමාධියකට හා අර්හත්ඵල ප්රඥාවකට පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධියක් ලැබීම භික්ෂූහට වන්නේය?” යි වදාළසේක.
“ස්වාමීනි, කෙසේනම් විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යම්සේ නොවෙත්ද, පිටත සියලු රූපාදී ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යම්සේ නොවෙත්ද, යම් අර්හත්ඵල සමාධියකටද, අර්හත්ඵල ප්රඥාවකටද පැමිණ වාසය කරන්නහුට මමය යන දෘෂ්ටිය මගේය යන තෘෂ්ණාව, මාන නවය අනුශය සත නොවෙත්ද. ඒ අර්හත්ඵල සමාධියටද අර්හත්ඵල ප්රඥාවටද පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධියක් ලැබීම කෙසේ වන්නේදැ” යි ඇසීය.
“ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුහට මෙබඳු සිතක් වෙයි. (කෙසේද) මෙය ශාන්තය. මෙය ප්රණීතය. එනම්, සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වේද, කාමාදී සියලු උපධීන්ගේ දුරලීමක් වේද, තෘෂ්ණාහුගේ ක්ෂයවීමක් වේද, නොඇලීමක් වේද, දුක්ඛ නිරෝධයක් වේද, නිර්වාණයක් වේද, (එයයි.) “ආනන්දය, යම්සේ විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යම්සේ නොවෙද්ද, පිටත සියලු රූපාදී ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යම්සේ නොවෙත්ද, යම් අර්හත්ඵල සමාධියකටද, අර්හත්ඵල ප්රඥාවකටද පැමිණ වාසය කරන්නහුට මමය යන දෘෂ්ටිය මගේය යන තෘෂ්ණාව, මාන නවය අනුශය සත නොවෙත්ද. ඒ අර්හත්ඵල සමාධියටද, අර්හත්ඵල ප්රඥාවටද පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධි ලාභයක් වන්නේය, ආනන්දය, මෙයද වනාහි මේ සඳහා පාරායන වර්ගයෙහි පුණ්ණක නම් ප්රශ්ණයෙහි ප්රකාශ කරණලද්දේය.”
“යමෙකුට ලෝකයෙහි තමාගේද, අනුන්ගේද ආත්මභාවයන් නුවණින් දැන ලෝකයෙහි කිසිවක්හි කම්පාවීමක් නැත්තේද, ශාන්තවූ, කායදුශ්චරිතාදී දුම් රහිතවූ, රාගාදී දුක් නැත්තාවූ, තෘෂ්ණා රහිතවූ, ඒ රහත් පුද්ගල තෙම ජාතිය හා ජරාව එතර කෙළේයයි කියමි” යි වදාළ සේක.
3. සංඛිත්ත විත්ථාර දේශනා සූත්රය
33. “ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්රයන් වහන්සේ, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට භාග්යවතුන් වහන්සේ, ‘ශාරීපුත්රයෙනි, මම වනාහි සංත්ක්ෂපයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. ශාරීපුත්රයෙනි, මම විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. ශාරීපුත්රය, මම සංක්ෂෙප වශයෙන්ද, විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. අවබෝධ කරන්නෝ දුර්ලභය” යි වදාළසේක. “යම් හෙයකින් භාග්යවතුන් වහන්සේ සංක්ෂෙපයෙන්ද ධර්මය දේශනා කරන්නේද, විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නේද, සංක්ෂෙපයෙන්ද, විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නේද, භාග්යවතුන් වහන්ස, මීට කල් වන්නේය. සුගතයන් වහන්ස, මීට කල් වන්නේය. ධර්මය අවබෝධ කරන්නාහු වන්නාහුය” යි (සැළකෙළේය.)
“ශාරීපුත්රය, එසේනම් මෙහි මෙසේ හික්මිය යුතුයි. (කෙසේද) විඤ්ඤාණය සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේය යන තණ්හාවද, මාන අනුශයද යන මොහු නොවන්නාහුද, බාහිරවූ සියලු නිමිතිවල මමය යන දෘෂ්ටියද, මගේය යන තණ්හාවද, මාන අනුශයද යන මොහු නොවෙද්ද, ඒ අර්හත්ඵල සමාධියට, ඒ අර්හත්ඵල ප්රඥාවට පැමිණ වාසය කරන්නෙමුයි (කියායි.)
“ශාරීපුත්රය, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයයි (වදාළ සේක.) ශාරීපුත්රය, යම් තැනක පටන් මහණහුගේ මමය යන දෘෂ්ටියද, මගේය යන තණ්හාවද, මාන අනුශයද යන මොහු නොවෙද්ද, ඒ අර්හත්ඵල සමාධියට, ඒ අර්හත්ඵල ප්රඥාවට පැමිණ වාසය කෙරයිද, ශාරීපුත්රය, මේ මහණතෙම තෂ්ණාව සින්දේය. සංයෝජන උපුටා දැම්මේය. මානය ප්රහාණය කිරීම් වශයෙන් අවබෝධකොට වට්ට දුක්ඛයාගේ දුක කෙළවර කෙළේය” යි කියනු ලැබේ. “ශාරීපුත්ත. මෙය වනාහි පාරායණයෙහි උදය ප්රශ්ණයෙහි මේ සඳහා කියනලදී.
“කාම සංඥාවගේද, දොමනස්සයාගේද, (යන) දෙදෙනාගේ ප්රහාණයවූද, ථීනම්ද්ධයාගේ දුරුකිරීමවූද, කුක්කුච්චයාගේ වැළැක්මවූද,
“උපෙක්ෂාවෙන් හා සතියෙන් පිරිසිදුවූ සම්යක් කල්පනාව ඉදිරියෙහි යන්නාවූ, අවිද්යාවගේ බිඳීමවූ අර්හත්ඵලය ප්රකාශ කරමි.”