3. 1. 4. 10. ආධිපතෙය්ය සූත්රය
40. “මහණෙනි, මේ අධිපති භාවයෝ තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක්ද යත්, අත්තාධිපතෙය්යං (තමා අධිපතිකොට ඇති බව), ලොකාධිපතෙය්යං (ලෝකයා අධිපතිකොට ඇති බව), ධම්මාධිපතෙය්යං (ධර්මය අධිපතිකොට ඇති බව).
“මහණෙනි, තමා අධිපතිකොට ඇති බව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්යයකට ගියේ හෝ, වෘක්ෂ මූලයකට ගියේ හෝ, ශූන්යාගාරයකට ගියේ හෝ, මෙසේ ප්රත්යවේක්ෂා කෙරයි. ‘මම වනාහි සිව්රු හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. ආහාරය හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. සෙනසුන් හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. භව සම්පත් හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. යලිදු වනාහි ඉපදීමෙන්ද, ජරාවෙන් හා මරණයෙන්ද, ශෝකයන්ගෙන්ද, වැළපීම්වලින්ද, කායික දුක්වලින්ද, චෛතසික දුක්වලින්ද, දැඩි ආයාසවලින්ද, වැළඳගත්තේ වෙමි. දුකට බැසගන්නා ලද්දේ වෙමි. දුකින් පීඩිතවූයේ වෙමි. මේ සියලු දුක්ඛයන්ගේ කෙළවර කිරීමක් පෙනේනම් යහපතැයි පැවිදි වූයෙමි.’ “මම වනාහි යම්බඳුවූ කාමයන් හැර ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙම් නම්, එබඳුවූ හෝ, ඊටත් වඩා අතිශයින් ලාමකවූ හෝ, කාමයන් සොයන්නෙම් නම් මට එය සුදුසු නොවන්නේය’ යි සිතයි. “හෙතෙම මෙසේද සිතයි. ‘මා විසින් නොහැකිළෙන වීර්ය්යය පටන්ගන්නා ලදී. සිහිය නොමුළාවිය. කය සංසිඳුනේය. සැහැල්ලුවිය. සිත සමාධියට පැමිණියේය. එකඟ විය.’ කියායි. මෙසේ හෙතම තමන් අධිපතිකොට අකුශලය දුරු කෙරෙයි. කුසලය වඩයි. වරද දුරුකරයි. නිවරද වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මේ තමා අධිපතිකොට ඇතිබවයයි කියනු ලැබේ.
“මහණෙනි, ලෝකය අධිපතිකොට ඇති බව නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්යයකට ගියේ හෝ, වෘක්ෂ මූලයකට ගියේ හෝ, ශූන්යාගාරයකට ගියේ හෝ, මෙසේ ප්රත්යවේක්ෂා කෙරයි. ‘මම වනාහි සිව්රු හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. ආහාරය හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. සෙනසුන් හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. භව සම්පත් හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. යලිදු වනාහි ඉපදීමෙන්ද, ජරාවෙන් හා මරණයෙන්ද, ශෝකයන්ගෙන්ද, වැළපීම්වලින්ද, කායික දුක්වලින්ද, චෛතසික දුක්වලින්ද, දැඩි ආයාසවලින්ද, වැළඳගත්තේ වෙමි. දුකට බැසගන්නා ලද්දේ වෙමි. දුකින් පීඩිතවූයේ වෙමි. මේ සියලු දුක්ඛයන්ගේ කෙළවර කිරීමක් පෙනේනම් යහපතැයි පැවිදි වූයෙමි.’ “මෙසේ පැවිදිවූ මම වනාහි කාම විතර්ක හෝ සිතන්නෙම් නම් ව්යාපාද විතර්ක හෝ සිතන්නෙම් නම් විහිංසා විතර්ක හෝ සිතන්නෙම් නම් මේ ලෝක සන්නිවාසය මහත්ය. මහත්වූ ලොක සන්නිවාසයෙහි ඎද්ධි ඇත්තාවූ, දිවැස් ඇත්තාවූ, පරසිත් දන්නාවූ මහණ බමුණෝ ඇත්තාහුය. “ඔවුහු දුරදීත් දකිත්. ළඟ සිටියාහුද, අන්යයන් විසින් දකිනු නොලැබෙත්. සිතින්ද දැන ගනිත්. ඔවුහු මෙසේ දැන ගන්නාහුය. ‘පින්වත්නි, බලව්. මේ කුල පුත්රයා ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව, ලාමක අකුශල ධර්මයන්ගෙන් ගැවසීගෙන වාසය කෙරෙයි.’ කියායි. දිවැස් ඇත්තාවූ, පරසිත් දන්නාවූ දෙවියෝ ඇත්තාහ. ඔවුහු දුරදීත් දකිත්. ළඟ සිටියාහුද, අන්යයන් විසින් දකිනු නොලැබෙත්. සිතින්ද දැන ගනිත්. ඔවුහු මෙසේ දැන ගන්නාහුය. ‘පින්වත්නි, බලව්. මේ කුල පුත්රයා ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව, ලාමක අකුශල ධර්මයන්ගෙන් ගැවසීගෙන වාසය කෙරෙයි.’ කියායි. හෙතෙම මෙසේද සිතයි. ‘මා විසින් නොහැකිළෙන වීර්ය්යය පටන්ගන්නා ලදී. සිහිය නොමුළාවිය. කය සංසිඳුනේය. සැහැල්ලුවිය. සිත සමාධියට පැමිණියේය. එකඟවිය. කියායි. මෙසේ හෙතෙම ලෝකයාම අධිපතිකොට අකුශලය දුරු කෙරෙයි. කුශලය වඩයි. වරද දුරු කරයි. නිවරද වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මේ ලෝකයා අධිපතිකොට ඇති බවයයි කියනු ලැබේ.
“මහණෙනි, ධර්මය අධිපතිකොට ඇතිබව නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්යයකට ගියේ හෝ, වෘක්ෂ මූලයකට ගියේ හෝ, ශූන්යාගාරයකට ගියේ හෝ, මෙසේ ප්රත්යවේක්ෂා කෙරයි. ‘මම වනාහි සිව්රු හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. ආහාරය හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. සෙනසුන් හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. භව සම්පත් හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. යලිදු වනාහි ඉපදීමෙන්ද, ජරාවෙන් හා මරණයෙන්ද, ශෝකයන්ගෙන්ද, වැළපීම්වලින්ද, කායික දුක්වලින්ද, චෛතසික දුක්වලින්ද, දැඩි ආයාසවලින්ද, වැළඳගත්තේ වෙමි. දුකට බැසගන්නා ලද්දේ වෙමි. දුකින් පීඩිතවූයේ වෙමි. මේ සියලු දුක්ඛයන්ගේ කෙළවර කිරීමක් පෙනේනම් යහපතැයි පැවිදි වූයෙමි.’ භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය තෙම මනාකොට ප්රකාශ කරණ ලද්දේය. එකෙනෙහි ලැබියයුතු ඵල ඇත්තේය. දිය යුතු විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමන් වෙත එළවාගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතුයයි කියායි. ඒ ධර්මය දැන, දැක, වාසය කරන්නාවූ සබ්රහ්මචාරීහු වෙත්. මමද මෙසේ මනාකොට ප්රකාශ කරණ ලද ධර්ම විනය සංඛ්යාත ශාසනයෙහි පැවිදිව, කුසීතව, ප්රමාදව වාසය කරන්නෙම් නම් එය මට සුදුසු නොවන්නේය කියායි. “හෙතෙම මෙසේද සිතයි. ‘මා විසින් නොහැකිළෙන වීර්ය්යය පටන්ගන්නා ලදී. සිහිය නොමුළාවිය. කය සංසිඳුනේය. සැහැල්ලුවිය. සිත සමාධියට පැමිණියේය. එකඟවිය. කියායි. මෙසේ හෙතෙම තමන් අධිපතිකොට අකුශලය දුරු කෙරෙයි. කුශලය වඩයි. වරද දුරු කරයි. නිවරද වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මේ ධර්මය අධිපතිකොට ඇත්තේවේ. මහණෙනි, මේ අධිපති භාවයෝ තුන නම් වෙත්.”
“ලෝකයෙහි පව්කම් කරන්නාහට රහසක් නම් නැත්තේය. පුරුෂය, තාගේ සත්යය හෝ, ඉදින් බොරුව හෝ තෙමේ දනී.
“පින්වත, ඒකාන්තයෙන් යහපත ශාක්ෂිවේ. තමා ඉක්මවා සිතන්නෙහිද? යමෙක් තමා කෙරෙහි ඇත්තාවූ පාපය තමා කෙරෙහි සඟවන්නෙහිද?
‘(සත්ත්ව) ලෝකයෙහි විසම සේ හැසිරෙන්නාවූ අඥානයා, දෙවියෝද, තථාගතයෝද දකිත්. එහෙයින් තවුස්තෙම තමා අධිපතිකොට ගෙනද, ලෝකයා අධිපතිකොට ගෙනද, ප්රඥාවෙන් යුක්තවද, ධ්යාන කරණ සුලුවද, ධර්මය අධිපතිකොට ගෙනද, ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි හැසිරෙන සුලුවද, ස්ථිර වීර්ය්යය ඇතිවද, සිහි ඇතිවද, හැසිරෙන්නේය.
“වීර්ය්ය ඇත්තාවූ යමෙක් තෙම මාරයා පරාජය කොට, මාරයා අභිභවනය කොට, ජාතිය ක්ෂය කිරීමයයි කියනලද, අර්හත්වය ස්පර්ශ කෙළේද, එබඳුවූ, තුන්ලොව දන්නාවූ, යහපත් ප්රඥා ඇත්තාවූ, සියලු ත්රෛභූමික ධර්මයන්හි, තෘෂ්ණා සංඛ්යාත තම්මය රහිතවූ, ඒ ක්ෂීණාශ්රව මුනිතෙම නොපිරිහෙන්නේය” යි වදාළ සේක.
දෙවදූත වර්ගය සිව්වැනිය.