3. 1. 4. 6.
[සැවැත් නුවර නිදානයි]
36. “මහණෙනි, මේ දේවදූතයෝ තුන් දෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද යත්: මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දුශ්චරිත කෙරෙයිද, වචනයෙන් දුශ්චරිත කෙරෙයිද, සිතින් දුශ්චරිත කෙරෙයිද, මහණෙනි, ඔහු නිරය පාලයෝ වෙන වෙනම අත්වලින් අල්ලාගෙණ යමරජහට දක්වත්. (කෙසේද) ‘දේවයන් වහන්ස, මේ පුරුෂ තෙම, මව කෙරෙහි වරදවා පිළිපැද්දේය. පියාට මනාව නොපිළිපැද්දේය. ශ්‍රමණයන්ට මනාව නොපිළිපැද්දේය. රහතන්ට මනාව නොපිළිපැද්දේය. කුලදෙටුවන් නොපිදුවෝය. මොහුට දේවයන් වහන්සේ දඬුවම් කළ මැනව’ කියායි.
මහණෙනි, ඔහුට යමරජතෙම පළමුවන දේවදුතයා පැහැදිළි කරන්නේය. කරුණු පිළිගන්වමින් අසන්නේය. කරුණු විමසමින් අසන්නේය. (කෙසේද?) ‘එම්බල පුරුෂය, තෝ මිනිසුන් අතරෙහි පහළවූ, පළමුවන දේවදූතයා නුදුටුයෙහිද?’ යනුවෙනි. හෙතෙම (කෙසේද) ‘ස්වාමීනි, නුදුටුයෙමි’ යි කියයි.
මහණෙනි, යමරජ තෙම මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, ඉපදීමෙන් අසූ වයස් ඇත්තාවූ හෝ අනූ වයස්වූ හෝ, අවුරුදු සියයක් ගියාවූ හෝ, ජරාවට ගියාවූ, ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිඳුනාවූ, සැරයටිය පිහිටකොට ඇත්තාවූ, වෙවුලමින් යන්නාවූ, ජරාවෙන් ආතුරවූ, ඉක්මගිය තරුණ වයස් ඇත්තාවූ, කැඩුනාවූ, (වැටුනාවූ) දත් ඇත්තාවූ, පැසුනු කෙස් ඇත්තාවූ, ඉදිරීගිය කෙස් ඇත්තාවූ, මුඩුවූ හිස ඇති, ඇඟ රැළි වැටුණාවූ, තල කැලලින් යුත් සිරුර ඇත්තාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුදුටුයෙහිදැ’ යි කියායි. හෙතෙම, ‘ස්වාමීනි, දුටුයෙමි’ යි කියයි.
“මහණෙනි, යමරජතෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, නුවණැත්තාවූම වැඩිවිය පැමිණි තට මේ සිත නොවීද, “මමද ජරාව ස්වභාවකොට ඇත්තෙක් වෙමි. ජරාව නොඉක්මවූයෙක් වෙමි. එබැවින් මම කයින්ද, වචනයෙන්ද, සිතින්ද යහපතක් කරමි” යි කියායි.’. ‘ස්වාමීනි, හෙතෙම නොහැකිවූයෙමි. ප්‍රමාද උනෙමි’ යි කියයි.
“මහණෙනි, යමරජතෙමේ ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, ප්‍රමාදවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් යහපත් ක්‍රියා නොකෙළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාදවූවාහුට යම්සේද, තට එපරිද්දෙන් කරන්නෙමි,’යි කියායි. ඒ මේ පාපකර්‍මය වනාහි මව් විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගණිය විසින් නොකරණ ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරණ ලද්දේය. සහ ලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. දේවතාවන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාපකර්‍මය කරණ ලද්දේය. මේ පාප කර්‍මයාගේ විපාකය තෝ විඳින්නෙහිය’ කියායි.
“මහණෙනි, යමරජ තෙම පළමුවන දේවදූතයා දක්වා, කරුණු සහිතව පිළිගන්වා, කරුණු විමසා කියාදී, කරුණු ගන්වා කියාදී, දෙවෙනි දේවදූතයා පැහැදිළි කරන්නේය. කරුණු පිළිගන්වමින් අසන්නේය. කරුණු විමසමින් අසන්නේය. ‘පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි පහළවූ, දෙවෙනි දේවදූතයා නොදැක්කෙහිදැ?’ යි අසයි. හෙතෙම ‘ස්වාමීනි, නැතැ’ යි කියයි. මහණෙනි, ඔහුට යමරජ තෙම, ‘එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, ව්‍යාධියෙන් පීඩිතවූ, දුකට පැමිණියාවූ, දැඩි ගිලන් බැව් ඇත්තාවූ, ස්වකීය මළ මූත්‍රයෙහි සයනය කරන්නාවූ, අන්‍යයන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් නිදි කරවන්නාවූ, ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු නුදුටුයෙහිදැ’ යි අසයි. හෙතෙම, ‘දුටුවෙමි ස්වාමීනි,’ යි කියයි.
මහණෙනි, යමරජතෙම ඔහුට, ‘එම්බල පුරුෂය, මහළුවූ, නුවණැතිවූ, ඒ තොපට මමද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙක් වෙමි. ව්‍යාධිය නොඉක්මවූයෙමි. දැන් කයින්, වචසින්, මනසින් යහපතක් කරමියි මෙබඳු සිතක් නොවූයෙහිදැ’ යි අසයි.. හෙතෙම ‘ස්වාමීනි, නොහැකිවූයෙමි. ප්‍රමාදවූයෙමි’ යි කියයි.
“මහණෙනි, යමරජතෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, ප්‍රමාදවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් යහපත් ක්‍රියා නොකෙළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාදවූවාහුට යම්සේද, තට එපරිද්දෙන් කරන්නෙමි,’යි කියායි. ඒ මේ පාපකර්‍මය වනාහි මව් විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගණිය විසින් නොකරණ ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරණ ලද්දේය. සහ ලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. දේවතාවන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාපකර්‍මය කරණ ලද්දේය. මේ පාප කර්‍මයාගේ විපාකය තෝ විඳින්නෙහිය’ කියායි.
“මහණෙනි, යමරජ තෙම ඔහුට දෙවෙනි දේවදූතයා දක්වා, කරුණු සහිතව පිළිගන්වා, කරුණු විමසා කියාදී, කරුණු ගන්වා කියාදී, තුන්වෙනි දේවදූතයා නොදැක්කෙහිදැ?’ යි අසයි. හෙතෙම ‘ස්වාමීනි, නැතැ’ යි කියයි. මහණෙනි, ඔහුට යමරජ තෙම, ‘එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, මැරී එක් දවසක් ගිය, මැරී දෙදවසක් ගිය, මැරී තුන් දවසක් ගිය, කැතට ඉදිමුණු, කැතට නිල්වූ, විශේෂයෙන් සැරව වැගිරෙන, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නොදැක්කෙහිදැ’ යි අසයි. හෙතෙම, ‘දුටුවෙමි ස්වාමීනි,’ යි කියයි. “මහණෙනි, ඔහුට යමරජතෙම, ‘එම්බල පුරුෂය, මහළුවූ, නුවණැතිවූ, ඒ තොපට මමද මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්වීමි. දැන් කයින්, වචසින්, මනසින් යහපතක් කෙරෙමියි මෙබඳු සිතක් නොවූයෙහිදැ’යි අසයි.. හෙතෙම ‘ස්වාමීනි, නොහැකිවූයෙමි. ප්‍රමාදවූයෙමි’ යි කියයි. “මහණෙනි, යමරජතෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, ප්‍රමාදවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් යහපත් ක්‍රියා නොකෙළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාදවූවාහුට යම්සේද, තට එපරිද්දෙන් කරන්නෙමි,’යි කියායි. ඒ මේ පාපකර්‍මය වනාහි මව් විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගණිය විසින් නොකරණ ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරණ ලද්දේය. සහ ලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. දේවතාවන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාපකර්‍මය කරණ ලද්දේය. මේ පාප කර්‍මයාගේ විපාකය තෝ විඳින්නෙහිය’ කියායි.