5. හත්‍ථකාලවක සූත්‍රය
35. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව් රටෙහි, ගෙරින් යන මාර්‍ගයෙහි, ඇට්ටේරිය වනයෙහි, කොළ ඇතිරියක වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි හත්ථක නම් ආලවක තෙම සක්මන් කරණුයේ, ඇවිදිනුයේ, ගෙරින් යන මගෙහි, ඇට්ටේරිය වනයෙහි, කොළ ඇතිරියෙහි වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, හත්‍ථක නම් ආලවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, කිමෙක්ද, භාග්‍යවතුන් වහන්සේ සැපසේ සයනය කෙළේදැයි ඇසීහ. “කුමාරය එසේය, සැපසේ සයනය කෙළෙමි. ලෝකයෙහි යමෙක් වනාහි සැපසේ සයනය කෙරේනම්, මම ඔවුනතුරෙන් එක්තරා කෙනෙක් වෙමි” යි (වදාළ සේක.)
“ස්වාමීනි, හෙමන්ත ඎතුවෙහි රාත්‍රිය ශීතලය. නවන්, මැදින් දෙස අතරෙහිවූ අට දවස පිණි වැටෙන කාලයයි. ගොනුන්ගේ කුරවලින් කැඩී ගියාවූ භූමිය රළුය, කොළ ඇතිරිය තුනීය, ගසේ කොළ අඩුය, කශා වස්ත්‍රද ශීතලය, සතර දිගින් ශීත සුළඟද හමයි. එසේ නමුත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියයි. (කෙසේද?) “කුමාරය එසේය, සැපසේ සයනය කෙළෙමි. ලෝකයෙහි යමෙක් වනාහි සැපසේ සයනය කෙරේද, මම ඔවුන් අතුරෙන් එක්තරා කෙනෙක් වෙමි” කියායි.
“කුමාරය, එසේ වී නම්, තගෙන්ම අසමි. තොපට යමක් රුචි වන්නේද, එසේ එය ප්‍රකාශ කරව. කුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ලෝකයෙහි ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ ඇතුළත, පිටත ආලේප කරණ ලද භික්ති ඇත්තාවූ, සවි කරණ ලද දොර අගුල් ඇත්තාවූ, වසන ලද කවුළු ඇත්තාවූ, කුළු ගෙයක් වන්නේද, එහි කොඳු පලසින් අතුරන ලද්දාවූ, සුදු එළු ලොම් ඇතිරියෙන් අතුරන ලද්දාවූ, කෙසෙල් මුව සමින් කරණ ලද උතුම් ඇතිරිලි ඇත්තාවූ, උඩු වියන් සහිතවූ, දෙපාර්‍ශවයෙහි තබන ලද ලෙහෙවන් කොට්ට ඇත්තාවූ පර්‍ය්‍යඞ්කයක් වන්නේද, මෙහි තෙල් පහනක්ද දැල්වෙන්නේය. ස්ත්‍රීන් සතර දෙනෙක්ද මනාප මනාපවූ උපස්ථාන කරමින් සිටින්නාහුද, කුමාරය, ඒ කුමැයි සිතන්නෙහිද, හෙතෙම සැපසේ සයනය කරන්නේ හෝ වේද, ඒසේ නොවන්නේ හෝ වේද, තට මෙහි කෙසේ හෝ අදහස් වේද?”
“ස්වාමීනි, හෙතෙම සැපසේ සයනය කරන්නේය. යම් කෙනෙක් ලෝකයෙහි සැපසේ සයනය කෙරෙත් නම්, හෙතෙම ඔවුන් අතුරෙන් එක්තරා කෙනෙකි.”
“කුමාරය, ඒ කුමැයි සිතන්නෙහිද, ඒ ගෘහපතියාට හෝ ඒ ගෘහපති පුත්‍රයාට හෝ රාගයෙන් උපන්නාවූ, කායකවූ හෝ මානසිකවූ හෝ දාහයෝ වෙත්ද, ඒ රාගයෙන් හටගත් දාහයෙන් දැවෙනු ලබන්නාවූ හෙතෙම දුකසේ සයනය කරන්නේද?” “ස්වාමීනි, එසේය.” “කුමාරය, ඒ ගෘහපති තෙමේ හෝ ඒ ගෘහපති පුත්‍ර තෙමේ රාගයෙන් හටගත්තාවූ යම් දාහයකින් දැවෙනු ලබන්නේ දුකසේ සයනය කරන්නේද, තථාගතයන්ගේ ඒ රාගය ප්‍රහීණය, උපුටන ලද මුල් ඇත්තේය. කරටිය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. නැවත නූපදිනා පරිදි කරණ ලද්දේය. මත්තෙහි නොඉපදීම ස්වභාව කොට ඇත්තේය. එහෙයින් මම සැපසේ සයනය කෙළෙමි. “කුමාරය, ඒ ගෘහපති තෙමේ හෝ ඒ ගෘහපති පුත්‍ර තෙමේ ද්වේෂයෙන් හටගත්තාවූ යම් දාහයකින් දැවෙනු ලබන්නේ දුකසේ සයනය කරන්නේද, තථාගතයන්ගේ ඒ ද්වේෂය ප්‍රහීණය, උපුටන ලද මුල් ඇත්තේය. කරටිය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. නැවත නූපදිනා පරිදි කරණ ලද්දේය. මත්තෙහි නොඉපදීම ස්වභාව කොට ඇත්තේය. එහෙයින් මම සැපසේ සයනය කෙළෙමි. “කුමාරය, ඒ ගෘහපති තෙමේ හෝ ඒ ගෘහපති පුත්‍ර තෙමේ මෝහයෙන් හටගත්තාවූ යම් දාහයකින් දැවෙනු ලබන්නේ දුකසේ සයනය කරන්නේද, තථාගතයන්ගේ ඒ මෝහය ප්‍රහීණය, උපුටන ලද මුල් ඇත්තේය. කරටිය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. නැවත නූපදිනා පරිදි කරණ ලද්දේය. මත්තෙහි නොඉපදීම ස්වභාව කොට ඇත්තේය. එහෙයින් මම සැපසේ සයනය කෙළෙමි.
“ක්ලේශ පරිනිර්‍වාණයෙන් පිරිනිවියාවූ ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණ තෙම සියලු කල්හි ඒකාන්තයෙන් සැපසේ සයනය කරයි. යමෙක් තෙම කාමයන්හි නොඇලේද, සිහිල් වූයේ වේද, උපධි රහිත වූයේද,
(හෙතෙම) සියලු තෘෂ්ණාවන් සිඳ, හෘදයේ දාහය සංසිඳවා, චිත්තයාගේ සංසිඳීමට පැමිණ සැපසේ නිදන්නේය.”
3. 1. 4. 6.
[සැවැත් නුවර නිදානයි]
36. “මහණෙනි, මේ දේවදූතයෝ තුන් දෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද යත්: මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දුශ්චරිත කෙරෙයිද, වචනයෙන් දුශ්චරිත කෙරෙයිද, සිතින් දුශ්චරිත කෙරෙයිද, මහණෙනි, ඔහු නිරය පාලයෝ වෙන වෙනම අත්වලින් අල්ලාගෙණ යමරජහට දක්වත්. (කෙසේද) ‘දේවයන් වහන්ස, මේ පුරුෂ තෙම, මව කෙරෙහි වරදවා පිළිපැද්දේය. පියාට මනාව නොපිළිපැද්දේය. ශ්‍රමණයන්ට මනාව නොපිළිපැද්දේය. රහතන්ට මනාව නොපිළිපැද්දේය. කුලදෙටුවන් නොපිදුවෝය. මොහුට දේවයන් වහන්සේ දඬුවම් කළ මැනව’ කියායි.
මහණෙනි, ඔහුට යමරජතෙම පළමුවන දේවදුතයා පැහැදිළි කරන්නේය. කරුණු පිළිගන්වමින් අසන්නේය. කරුණු විමසමින් අසන්නේය. (කෙසේද?) ‘එම්බල පුරුෂය, තෝ මිනිසුන් අතරෙහි පහළවූ, පළමුවන දේවදූතයා නුදුටුයෙහිද?’ යනුවෙනි. හෙතෙම (කෙසේද) ‘ස්වාමීනි, නුදුටුයෙමි’ යි කියයි.
මහණෙනි, යමරජ තෙම මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, ඉපදීමෙන් අසූ වයස් ඇත්තාවූ හෝ අනූ වයස්වූ හෝ, අවුරුදු සියයක් ගියාවූ හෝ, ජරාවට ගියාවූ, ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිඳුනාවූ, සැරයටිය පිහිටකොට ඇත්තාවූ, වෙවුලමින් යන්නාවූ, ජරාවෙන් ආතුරවූ, ඉක්මගිය තරුණ වයස් ඇත්තාවූ, කැඩුනාවූ, (වැටුනාවූ) දත් ඇත්තාවූ, පැසුනු කෙස් ඇත්තාවූ, ඉදිරීගිය කෙස් ඇත්තාවූ, මුඩුවූ හිස ඇති, ඇඟ රැළි වැටුණාවූ, තල කැලලින් යුත් සිරුර ඇත්තාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුදුටුයෙහිදැ’ යි කියායි. හෙතෙම, ‘ස්වාමීනි, දුටුයෙමි’ යි කියයි.
“මහණෙනි, යමරජතෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, නුවණැත්තාවූම වැඩිවිය පැමිණි තට මේ සිත නොවීද, “මමද ජරාව ස්වභාවකොට ඇත්තෙක් වෙමි. ජරාව නොඉක්මවූයෙක් වෙමි. එබැවින් මම කයින්ද, වචනයෙන්ද, සිතින්ද යහපතක් කරමි” යි කියායි.’. ‘ස්වාමීනි, හෙතෙම නොහැකිවූයෙමි. ප්‍රමාද උනෙමි’ යි කියයි.
“මහණෙනි, යමරජතෙමේ ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, ප්‍රමාදවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් යහපත් ක්‍රියා නොකෙළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාදවූවාහුට යම්සේද, තට එපරිද්දෙන් කරන්නෙමි,’යි කියායි. ඒ මේ පාපකර්‍මය වනාහි මව් විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගණිය විසින් නොකරණ ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරණ ලද්දේය. සහ ලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. දේවතාවන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාපකර්‍මය කරණ ලද්දේය. මේ පාප කර්‍මයාගේ විපාකය තෝ විඳින්නෙහිය’ කියායි.