4. කම්මනිදාන සූත්‍රය
34. “මහණෙනි, වට්ටගාමී කර්මයන්ගේ ඇතිවීම පිණිස මේ හේතු තුනක් වෙත්. කවර තුනක්ද යත්: කර්මයන්ගේ ඇතිවීම පිණිස ලෝභය හේතුවෙයි. කර්මයන්ගේ ඇතිවීම පිණිස ද්වේෂය හේතුවෙයි. කර්මයන්ගේ ඇතිවීම පිණිස මෝහය හේතුවෙයි.
“මහණෙනි, ලෝභයෙන් කරණ ලද්දාවූ, ලෝභයෙන් හටගත්තාවූ, ලෝභය කරුණුකොට ඇත්තාවූ, ලෝභය ප්‍රත්‍යකොට ඇත්තාවූ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි එය කළහුගේ ආත්මභාවය උපදීද, එහි කර්මය විපාකදෙයි. යම්තැනෙක්හි ඒ කර්මය විපාක දෙයිද, එහි ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ එයින් අනික් අනික් භවයක හෝ විපාක දෙයි.
“මහණෙනි, ද්වේෂයෙන් කරණ ලද්දාවූ, ද්වේෂයෙන් හටගත්තාවූ, ද්වේෂය කරුණුකොට ඇත්තාවූ, ද්වේෂය ප්‍රත්‍යය කොට ඇත්තාවූ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි එය කළහුගේ ආත්මභාවය උපදීද, එහි කර්මය විපාකදෙයි. යම්තැනෙක්හි ඒ කර්මය විපාක දෙයිද, එහි ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්ම බැව්හි හෝ එයින් අනික් අනික් භවයක හෝ විපාක දෙයි.
“මහණෙනි, මෝහයෙන් කළ, මෝහයෙන් හටගත්, මෝහය කරුණුකොට ඇති, මෝහය ප්‍රත්‍යයකොට ඇති යම් කර්මයක් වේද, යම් තැනෙක්හි එය කළහුගේ ආත්මභාවය උපදීද, එහි කර්මය විපාකදෙයි. යම්තැනෙක්හි ඒ කර්මය විපාක දෙයිද, එහි ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ එයින් අනික් අනික් භවයක හෝ විපාක දෙයි.
“මහණෙනි, යම්සේ නොකැඩුණු, කුණු නොවූ, අව් සුළඟින් නොනැසුනාවූ, නිස්සාර නොවු බීජයෝ යම්සේ යහපත් කුඹුරක මනාසේ සීසෑම් ආදිය කරණ ලද බිමක ඉසින ලද්දාහු. සැපසේ හෝනාහු වෙත්ද, වර්‍ෂාවද මනාකොට වර්‍ෂා ධාරාව නැවත නැවත හෙලන්නේද, මහණෙනි, එසේ ඇති කල්හි, ඒ බීජයෝ උඩට නැගීමෙන් වෘද්‍ධියටද, මුල් ඇදීමෙන් විරූඩිභාවයටද, හාත්පස පැතිරීමෙන් විපුලත්‍වයටද පැමිණෙන්නාහුය.” “මහණෙනි, එසේම ලෝභයෙන් හටගත්, ලෝභය නිදානකොට ඇති, ලෝභය හේතුකොට ඇති, ලෝභයෙන් කළ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි ඔහුගේ ආත්මභාවය උපදීද, ඒ ආත්මභාවයෙහි ඒ ස්කන්‍ධ පඤ්චකයෙහි විපාක දේ. යම් තැනෙක්හි ඒ කර්මය විපාක දේද, එහි ඒ කර්මයාගේ විපාක විඳී. මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අනික් ආත්මභාවයක හෝ විපාක දෙයි.”
“මහණෙනි, එසේම ද්වේෂයෙන් හටගත්, ද්වේෂය නිදානකොට ඇති, ද්වේෂය හේතුකොට ඇති, ද්වේෂයෙන් කළ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි ඔහුගේ ආත්මභාවය උපදීද, ඒ ආත්මභාවයෙහි ඒ ස්කන්‍ධ පඤ්චකයෙහි විපාක දේ. යම් තැනෙක්හි ඒ කර්මය විපාක දේද, එහි ඒ කර්මයාගේ විපාක විඳී. මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අනික් ආත්මභාවයක හෝ විපාක දෙයි.” “මහණෙනි, එසේම මෝහයෙන් හටගත්, මෝහය නිදානකොට ඇති, මෝහය හේතුකොට ඇති, මෝහයෙන් කළ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි ඔහුගේ ආත්මභාවය උපදීද, ඒ ආත්මභාවයෙහි ඒ ස්කන්‍ධ පඤ්චකයෙහි විපාක දේ. යම් තැනෙක්හි ඒ කර්මය විපාක දේද, එහි ඒ කර්මයාගේ විපාක විඳී. මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අනික් ආත්මභාවයක හෝ විපාක දෙයි. මහණෙනි, කර්මයන්ගේ හටගැනීමට මේ හේතු තුනයි.
“මහණෙනි, නිර්‍වාණයට යන සුලු කර්මයන්ගේ හටගැනීම පිණිස මේ හේතු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද යත්, අලෝභය තෙම නිර්‍වාණගාමී කර්මයන් රැස්කිරීමට කරුණුවේ. අද්වේෂය නිර්‍වාණගාමී කර්මයන් රැස්කිරීමට කරුණුවේ. අමෝභය නිර්‍වාණගාමී කර්මයන් රැස්කිරීමට කරුණුවේ.
“මහණෙනි, අලෝභයෙන් කරණ ලද්දාවූ, අලෝභයෙන් හටගත්තාවූ, අලෝභය නිදානකොට ඇත්තාවූ, අලෝභය හේතුකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, ලෝභය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.
“මහණෙනි, අද්වේෂයෙන් කරණ ලද්දාවූ, අද්වේෂයෙන් හටගත්තාවූ, අද්වේෂය නිදානකොට ඇත්තාවූ, අද්වේෂය හේතුකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, ද්වේෂය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.
“මහණෙනි, අමෝහයෙන් කරණ ලද්දාවූ, අමෝහයෙන් හටගත්තාවූ, අමෝහය නිදානකොට ඇත්තාවූ, අමෝහය හේතුකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, මෝහය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.
“මහණෙනි, යම්සේ කඩ නොවූ, කුණු නොවූ, අව් සුළඟින් නොනැසුණාවූ, ගන්නාලද හර ඇත්තාවූ, මොනවට තැන්පත්කළ බීජයෝ වෙත්ද, ඒ බීජයන් පුරුෂයෙක් තෙම ගින්නෙන් දවන්නේද, ගින්නෙන් දවා හළු කරන්නේද, හළුකොට මහා වාතයෙහි හෝ පිඹ හරින්නේද, සීඝ්‍රවූ සැඩපහර ඇති ගඟක හෝ පාකොට හරින්නේද, මහණෙනි, එසේ ඇති කල්හි ඒ බීජයෝ උපුටා හරිනලද මුල් ඇත්තාහු, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, නැවත ඇති නොවීම කරණ ලද්දාහු, මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තාහු (වෙද්ද) “මහණෙනි, අලෝභයෙන් කරණ ලද්දාවූ, අලෝභයෙන් හටගත්තාවූ, අලෝභය නිදානකොට ඇත්තාවූ, අලෝභය හේතුකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, ලෝභය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.
“මහණෙනි, අද්වේෂයෙන් කරණ ලද්දාවූ, අද්වේෂයෙන් හටගත්තාවූ, අද්වේෂය නිදානකොට ඇත්තාවූ, අද්වේෂය හේතුකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, ද්වේෂය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ. “මහණෙනි, අමෝහයෙන් කරණ ලද්දාවූ, අමෝහයෙන් හටගත්තාවූ, අමෝහය නිදානකොට ඇත්තාවූ, අමෝහය හේතුකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, මෝහය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ. “මහණෙනි, මේ තුන කර්මයන්ගේ ඉපදීමට හේතුය.
(1) “අඥාන පුද්ගලතෙම ලෝභයෙන් උපදනාවූද, ද්වේෂයෙන් උපදනාවූද, මෝහයෙන් උපදනාවූද, (කර්ම කෙරේද) ඔහු විසින් කරණ ලද්දාවූ ස්වල්පවූ හෝ බොහෝ වූ හෝ යම් කර්මයක් වේද, ඒ කර්මය ස්වකීය ආත්මභාවයෙහිම ඔහු විසින් වින්ද යුතුයි. එය විඳීමට අනික් වස්තුවක් නැත්තේය.
(2) “එහෙයින් ප්‍රඥාවත් පුද්ගල තෙම ලෝභයෙන් උපදින්නාවූද, ද්වේෂයෙන් උපදින්නාවූද, මෝහයෙන් උපදින්නාවූද, (කර්ම නොකරන්නේය.) අර්හත් මාර්‍ග විද්‍යාව උපදවන්නාවූ ඒ මහණතෙම සියලු දුර්‍ගතීන් හරින්නේය” යි (වදාළසේක.)