3. සංඛිත්ත විත්‍ථාර දේශනා සූත්‍රය
33. “ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ, ‘ශාරීපුත්‍රයෙනි, මම වනාහි සංත්‍ක්‍ෂපයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. ශාරීපුත්‍රයෙනි, මම විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. ශාරීපුත්‍රය, මම සංක්‍ෂෙප වශයෙන්ද, විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. අවබෝධ කරන්නෝ දුර්ලභය” යි වදාළසේක. “යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂෙපයෙන්ද ධර්මය දේශනා කරන්නේද, විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නේද, සංක්‍ෂෙපයෙන්ද, විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නේද, භාග්‍යවතුන් වහන්ස, මීට කල් වන්නේය. සුගතයන් වහන්ස, මීට කල් වන්නේය. ධර්මය අවබෝධ කරන්නාහු වන්නාහුය” යි (සැළකෙළේය.)
“ශාරීපුත්‍රය, එසේනම් මෙහි මෙසේ හික්මිය යුතුයි. (කෙසේද) විඤ්ඤාණය සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේය යන තණ්හාවද, මාන අනුශයද යන මොහු නොවන්නාහුද, බාහිරවූ සියලු නිමිතිවල මමය යන දෘෂ්ටියද, මගේය යන තණ්හාවද, මාන අනුශයද යන මොහු නොවෙද්ද, ඒ අර්හත්ඵල සමාධියට, ඒ අර්හත්ඵල ප්‍රඥාවට පැමිණ වාසය කරන්නෙමුයි (කියායි.)
“ශාරීපුත්‍රය, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයයි (වදාළ සේක.) ශාරීපුත්‍රය, යම් තැනක පටන් මහණහුගේ මමය යන දෘෂ්ටියද, මගේය යන තණ්හාවද, මාන අනුශයද යන මොහු නොවෙද්ද, ඒ අර්හත්ඵල සමාධියට, ඒ අර්හත්ඵල ප්‍රඥාවට පැමිණ වාසය කෙරයිද, ශාරීපුත්‍රය, මේ මහණතෙම තෂ්ණාව සින්දේය. සංයෝජන උපුටා දැම්මේය. මානය ප්‍රහාණය කිරීම් වශයෙන් අවබෝධකොට වට්ට දුක්ඛයාගේ දුක කෙළවර කෙළේය” යි කියනු ලැබේ. “ශාරීපුත්ත. මෙය වනාහි පාරායණයෙහි උදය ප්‍රශ්ණයෙහි මේ සඳහා කියනලදී.
“කාම සංඥාවගේද, දොමනස්සයාගේද, (යන) දෙදෙනාගේ ප්‍රහාණයවූද, ථීනම්ද්ධයාගේ දුරුකිරීමවූද, කුක්කුච්චයාගේ වැළැක්මවූද,
“උපෙක්‍ෂාවෙන් හා සතියෙන් පිරිසිදුවූ සම්‍යක් කල්පනාව ඉදිරියෙහි යන්නාවූ, අවිද්‍යාවගේ බිඳීමවූ අර්හත්ඵලය ප්‍රකාශ කරමි.”
4. කම්මනිදාන සූත්‍රය
34. “මහණෙනි, වට්ටගාමී කර්මයන්ගේ ඇතිවීම පිණිස මේ හේතු තුනක් වෙත්. කවර තුනක්ද යත්: කර්මයන්ගේ ඇතිවීම පිණිස ලෝභය හේතුවෙයි. කර්මයන්ගේ ඇතිවීම පිණිස ද්වේෂය හේතුවෙයි. කර්මයන්ගේ ඇතිවීම පිණිස මෝහය හේතුවෙයි.
“මහණෙනි, ලෝභයෙන් කරණ ලද්දාවූ, ලෝභයෙන් හටගත්තාවූ, ලෝභය කරුණුකොට ඇත්තාවූ, ලෝභය ප්‍රත්‍යකොට ඇත්තාවූ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි එය කළහුගේ ආත්මභාවය උපදීද, එහි කර්මය විපාකදෙයි. යම්තැනෙක්හි ඒ කර්මය විපාක දෙයිද, එහි ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ එයින් අනික් අනික් භවයක හෝ විපාක දෙයි.
“මහණෙනි, ද්වේෂයෙන් කරණ ලද්දාවූ, ද්වේෂයෙන් හටගත්තාවූ, ද්වේෂය කරුණුකොට ඇත්තාවූ, ද්වේෂය ප්‍රත්‍යය කොට ඇත්තාවූ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි එය කළහුගේ ආත්මභාවය උපදීද, එහි කර්මය විපාකදෙයි. යම්තැනෙක්හි ඒ කර්මය විපාක දෙයිද, එහි ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්ම බැව්හි හෝ එයින් අනික් අනික් භවයක හෝ විපාක දෙයි.
“මහණෙනි, මෝහයෙන් කළ, මෝහයෙන් හටගත්, මෝහය කරුණුකොට ඇති, මෝහය ප්‍රත්‍යයකොට ඇති යම් කර්මයක් වේද, යම් තැනෙක්හි එය කළහුගේ ආත්මභාවය උපදීද, එහි කර්මය විපාකදෙයි. යම්තැනෙක්හි ඒ කර්මය විපාක දෙයිද, එහි ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ එයින් අනික් අනික් භවයක හෝ විපාක දෙයි.
“මහණෙනි, යම්සේ නොකැඩුණු, කුණු නොවූ, අව් සුළඟින් නොනැසුනාවූ, නිස්සාර නොවු බීජයෝ යම්සේ යහපත් කුඹුරක මනාසේ සීසෑම් ආදිය කරණ ලද බිමක ඉසින ලද්දාහු. සැපසේ හෝනාහු වෙත්ද, වර්‍ෂාවද මනාකොට වර්‍ෂා ධාරාව නැවත නැවත හෙලන්නේද, මහණෙනි, එසේ ඇති කල්හි, ඒ බීජයෝ උඩට නැගීමෙන් වෘද්‍ධියටද, මුල් ඇදීමෙන් විරූඩිභාවයටද, හාත්පස පැතිරීමෙන් විපුලත්‍වයටද පැමිණෙන්නාහුය.” “මහණෙනි, එසේම ලෝභයෙන් හටගත්, ලෝභය නිදානකොට ඇති, ලෝභය හේතුකොට ඇති, ලෝභයෙන් කළ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි ඔහුගේ ආත්මභාවය උපදීද, ඒ ආත්මභාවයෙහි ඒ ස්කන්‍ධ පඤ්චකයෙහි විපාක දේ. යම් තැනෙක්හි ඒ කර්මය විපාක දේද, එහි ඒ කර්මයාගේ විපාක විඳී. මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අනික් ආත්මභාවයක හෝ විපාක දෙයි.”
“මහණෙනි, එසේම ද්වේෂයෙන් හටගත්, ද්වේෂය නිදානකොට ඇති, ද්වේෂය හේතුකොට ඇති, ද්වේෂයෙන් කළ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි ඔහුගේ ආත්මභාවය උපදීද, ඒ ආත්මභාවයෙහි ඒ ස්කන්‍ධ පඤ්චකයෙහි විපාක දේ. යම් තැනෙක්හි ඒ කර්මය විපාක දේද, එහි ඒ කර්මයාගේ විපාක විඳී. මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අනික් ආත්මභාවයක හෝ විපාක දෙයි.” “මහණෙනි, එසේම මෝහයෙන් හටගත්, මෝහය නිදානකොට ඇති, මෝහය හේතුකොට ඇති, මෝහයෙන් කළ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි ඔහුගේ ආත්මභාවය උපදීද, ඒ ආත්මභාවයෙහි ඒ ස්කන්‍ධ පඤ්චකයෙහි විපාක දේ. යම් තැනෙක්හි ඒ කර්මය විපාක දේද, එහි ඒ කර්මයාගේ විපාක විඳී. මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අනික් ආත්මභාවයක හෝ විපාක දෙයි. මහණෙනි, කර්මයන්ගේ හටගැනීමට මේ හේතු තුනයි.