3. 1. 2. 8. දෙවලොකුප්පත්ති සූත්රය
18. “මහණෙනි, ඉදින් වනාහි අන්යතීර්ත්ථක පරිබ්රාජකයෝ, ‘ඇවැත්නි, දෙව්ලොව ඉපදීම පිණිස ශ්රමණ ගෞතමයන් කෙරෙහි බ්රහ්මචර්ය්යාවෙහි හැසිරෙන්නහුදැයි අසන්නාහු නම්, මෙසේ අසන ලද්දාවූ තෙපි හැකිලෙන්නාහු නොවෙත්ද, ලජ්ජාවන්නාහු නොවෙත්ද, පිළිකුල් කරන්නාහු නොවෙත්ද. “ස්වාමීනි, එසේය”. මහණෙනි, මෙසේ වනාහි තෙපි දිව්ය ආයුෂට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්ය වර්ණයට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්ය සැපට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්ය යසසට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්ය අධිපති බවට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, මහණෙනි, පළමුකොට වනාහි තොප විසින් කාය දුෂ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි. වාක් දුශ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි. මනො දුශ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි.”
3. 1. 2. 9. පාපනික සූත්රය
19. “මහණෙනි, කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ. කවර තුනකින්ද? මහණෙනි, මේ ලෝකයෙහි වෙළඳ තෙම උදය කාලයෙහි මනාව කටයුතු නොකරයිද, දවල් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, සවස් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, මහණෙනි, මේ අංග තුනෙන් යුත් වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ධර්ම තුනකින් යුක්තවූ මහණතෙම නොලැබූ කුසල් ලබන්ටද, ලැබූ කුසල් දියුණු කරන්ටද සුදුසු නොවේ. කවර අඞ්ග තුනකින්ද? මහණෙනි, මහණතෙමේ උදය කාලයෙහි සමාධි අරමුණු මනාකොට නොවඩයිද, දවල් කාලයෙහි මනාකොට සමාධි නිමිත්ත නොවඩයිද, සවස් කාලයෙහි මනාකොට සමාධි නිමිත්ත නොවඩයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් මහණ තෙමේ නොලැබූ කුශල ධර්ම ලැබීමට හෝ, ලැබූ කුශල ධර්ම දියුණු කිරීමට හෝ සුදුසු නොවේ.
“මහණෙනි, කරුණු තුනකින් යුත් වෙළඳ තෙමේ නොලැබූ ධනය ලැබීමටත් ලැබූ ධනය දියුණු කිරීමටත් සුදුසු වෙයි. කවර තුනකින්ද? මහණෙනි, වෙළඳ තෙමේ උදය කාලයෙහි මනාකොට කටයුතු කරයිද, දවල් කාලයෙහි මනාකොට කටයුතු කරයිද, සවස් කාලයෙහි මනාකොට කටයුතු කරයිද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් වෙළඳ තෙමේ නොලැබූ ධනය ලැබීමටද ලැබූ ධනය දියුණු කිරීමටද සුදුසු වෙයි.
“මහණෙනි, එසේම ධර්ම තුනකින් යුත් මහණතෙමේ නොලැබූ කුසල ධර්මයන් ලැබීමටත්, ලැබූ කුසල ධර්මයන් දියුණු කිරීමටත් සුදුසු වෙයි. කවර තුනකින්ද? මහණෙනි, මහණතෙමේ උදය කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද, දවල් කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද, සවස් කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද, මහණෙනි, මේ තුන් ධර්මයෙන් යුත් මහණ තෙමේ නොලැබූ කුශල ධර්මයන් ලැබීමටත්, ලැබූ කුශල ධර්මයන් දියුණු කිරීමටත් සුදුසු වෙයි.”
3. 1. 2. 10. දුතිය පාපණීක සූත්රය
20. “මහණෙනි, අංග තුනකින් යුක්තවූ වෙළඳතෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් බවටද, විපුල බවටද පැමිණේ. කවර තුනකින්ද? මහණෙනි, වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද, නුවණින් යුක්තවිය ඇත්තේ වේද, උදව් උපකාර ඇත්තේ වේද, (යන මේ තුනෙනි.)