3. 1. 2. 9. පාපනික සූත්‍රය
19. “මහණෙනි, කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ. කවර තුනකින්ද? මහණෙනි, මේ ලෝකයෙහි වෙළඳ තෙම උදය කාලයෙහි මනාව කටයුතු නොකරයිද, දවල් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, සවස් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, මහණෙනි, මේ අංග තුනෙන් යුත් වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ධර්‍ම තුනකින් යුක්තවූ මහණතෙම නොලැබූ කුසල් ලබන්ටද, ලැබූ කුසල් දියුණු කරන්ටද සුදුසු නොවේ. කවර අඞ්ග තුනකින්ද? මහණෙනි, මහණතෙමේ උදය කාලයෙහි සමාධි අරමුණු මනාකොට නොවඩයිද, දවල් කාලයෙහි මනාකොට සමාධි නිමිත්ත නොවඩයිද, සවස් කාලයෙහි මනාකොට සමාධි නිමිත්ත නොවඩයිද, මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුත් මහණ තෙමේ නොලැබූ කුශල ධර්‍ම ලැබීමට හෝ, ලැබූ කුශල ධර්‍ම දියුණු කිරීමට හෝ සුදුසු නොවේ.
“මහණෙනි, කරුණු තුනකින් යුත් වෙළඳ තෙමේ නොලැබූ ධනය ලැබීමටත් ලැබූ ධනය දියුණු කිරීමටත් සුදුසු වෙයි. කවර තුනකින්ද? මහණෙනි, වෙළඳ තෙමේ උදය කාලයෙහි මනාකොට කටයුතු කරයිද, දවල් කාලයෙහි මනාකොට කටයුතු කරයිද, සවස් කාලයෙහි මනාකොට කටයුතු කරයිද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් වෙළඳ තෙමේ නොලැබූ ධනය ලැබීමටද ලැබූ ධනය දියුණු කිරීමටද සුදුසු වෙයි.
“මහණෙනි, එසේම ධර්‍ම තුනකින් යුත් මහණතෙමේ නොලැබූ කුසල ධර්‍මයන් ලැබීමටත්, ලැබූ කුසල ධර්‍මයන් දියුණු කිරීමටත් සුදුසු වෙයි. කවර තුනකින්ද? මහණෙනි, මහණතෙමේ උදය කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද, දවල් කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද, සවස් කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද, මහණෙනි, මේ තුන් ධර්‍මයෙන් යුත් මහණ තෙමේ නොලැබූ කුශල ධර්‍මයන් ලැබීමටත්, ලැබූ කුශල ධර්‍මයන් දියුණු කිරීමටත් සුදුසු වෙයි.”
3. 1. 2. 10. දුතිය පාපණීක සූත්‍රය
20. “මහණෙනි, අංග තුනකින් යුක්තවූ වෙළඳතෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් බවටද, විපුල බවටද පැමිණේ. කවර තුනකින්ද? මහණෙනි, වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද, නුවණින් යුක්තවිය ඇත්තේ වේද, උදව් උපකාර ඇත්තේ වේද, (යන මේ තුනෙනි.)
“මහණෙනි, කෙසේනම් වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද, මහණෙනි, වෙළඳ තෙම වෙළඳ බඩු දන්නේ වෙයි. මේ මිලට ගත් බඩුව, මේ මිලට විකුණු කල මෙතරම් ඇත්තේයයි දන්නේය. මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම නුවණ ඇත්තේ වේ. “මහණෙනි, කෙසේ නම් වෙළඳ තෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, මහණෙනි, වෙළඳ තෙම බඩු ගැනීමටද, විකිණීමටද දක්‍ෂ වෙයි. මෙසේ වනාහි වෙළඳ තෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් උදව් උපකාර ඇත්තේ වේද, මහණෙනි, ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, මහත් වස්තුව ඇත්තාවූ, යම් ගෘහපතියෝ හෝ ගෘහපති පුත්‍රයෝ වෙත්ද, ඔවුහු යම් වෙළඳකු ගැන මේ පින්වත් වෙළඳ තෙමේ නුවණ ඇත්තේය. නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේය, අඹු දරුවන් පෝෂ්‍ය කරන්ටද, අපටද කලින් කල ලාභය දෙන්නටද සමර්ත්‍ථයයි දැනගන්නාහුය. ඔවුහු ඒ වෙළෙන්දාට, ‘යහළුව මෙයින් අඹු දරුවන්ද පෝෂ්‍ය කරව, අපටද කලින් කල ලාභය දෙව’ යි ධනය දෙන්නාහුය. මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම උදව් උපකාර ඇත්තෙක් වේ. මහණෙනි, මේ කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් විපුල බවටද පැමිණේ.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ධර්ම තුනකින් යුත් මහණතෙම ධර්මයන්හි මහත් විපුල බවට පැමිණෙන්නේය. කවර ධර්ම තුනකින්ද, මහණෙනි, මේ සස්නෙහි මහණතෙම නුවණ ඇත්තේවේද, නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, උදව් උපකාරයන්ගේ පිහිට ඇත්තේ වේද, යන කරුණු තුනය. “මහණෙනි, කෙසේනම් මහණතෙම නුවණ ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම මේ දුකයයි තත්‍වාකාරයෙන් දනීද, මේ දුක් නැතිකිරීමට පැමිණෙන මාර්‍ගයයයි තත්වූ පරිද්දෙන් දැනගණීද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි නුවණ ඇත්තේ වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අකුශල කර්මයන් පහකරණු පිණිස, කුසල ධර්මයන්ගේ දියුණුව පිණිස, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද, කුශල ධර්මයන්හි බලවත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද, බහා නොතබන ලද වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණතෙම පිහිට ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් ඒ භික්‍ෂූහු බහුශ්‍රුත වෙත්ද, ප්‍රගුණ කළ නිකාය ඇත්තාහුද, සූත්‍ර පිටකය දරන්නාහුද, විනය පිටකය දරන්නාහුද, උභය මාතෘකා දරන්නාහුද, ඒ භික්‍ෂූන් කරා කලින් කල පැමිණ ‘ස්වාමීණි, මෙය කෙසේද, මේ ධර්‍මයාගේ අර්ත්‍ථය කවරේදැ’ යි අසන්නේය. ඔහුට ඒ ආයුෂ්මත්හු නොවැටහුන දේ වටහාවත්. ප්‍රකට නොවූ දේ ප්‍රකට කෙරෙත්. නොයෙක් සැක කටයුතු ධර්‍මයන්හි සැක දුරුකරත්. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පිහිට ඇත්තෙක් වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් මහණතෙම නොබෝ කලකින්ම ධර්‍මයන්හි මහත් බවට, විශාල බවට පැමිණෙයි.”
පඨමභාණවාරො නිට්ඨිතො.
දෙවෙනි රථකාර වර්‍ගය නිමි.