2. රථකාර වර්‍ගය
සැවැත් නුවර දී ය.
1. ඤාතභික්ඛු සූත්‍රය
11. “මහණෙනි, ධර්‍ම තුනකින් යුත් ප්‍රසිද්‍ධ භික්‍ෂුව බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර තුනකින්ද? “නුසුදුසුවූ කාය කර්‍මයන්හි සමාදන් කරවයිද, නුසුදුසු වාක් කර්‍මයන්හි සමාදන් කරවයිද, නුසුදුසු මනො කර්‍මයන්හි සමාදන් කරවයිද, මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුත් ප්‍රසිද්‍ධ භික්‍ෂුතෙම බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි.
“මහණෙනි, ධර්‍ම තුනකින් යුත් ප්‍රසිද්‍ධ භික්‍ෂු තෙමේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස පිළිපන්නේ වෙයි. කවර තුනකින්ද? සුදුසුවූ කාය කර්‍මයන්හි සමාදන් කරවයිද, සුදුසුවූ වාක් කර්‍මයන්හි සමාදන් කරවයිද, සුදුසුවූ මනො කර්‍මයන්හි සමාදන් කරවයිද, මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුත් භික්‍ෂුතෙමේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස පිළිපන්නේ වෙයි.”
2. යාවජීව සරණීය සූත්‍රය
12. “මහණෙනි, ඔටුණු පැළැන්දුවාවූ ක්‍ෂත්‍රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු කරුණු තුනක් වෙත්. කවර තුනක්ද? “ඔටුණු පළන් ක්‍ෂත්‍රිය රජ තෙමේ යම් පෙදෙසක උපන්නේ වේද, මහණෙනි, මේ ඔටුණු පළන් ක්‍ෂත්‍රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු පළමුවැනි කාරණය වෙයි.
“නැවතද, ඔටුණු පළන් ක්‍ෂත්‍රිය රජ තෙමේ යම් පෙදෙසක ඔටුණු පැළැන්දේ වෙයිද, මහණෙනි, මේ ඔටුණු පළන් ක්‍ෂත්‍රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු දෙවැනි කාරණය වෙයි.
“මහණෙනි, නැවතද, ඔටුණු පළන් ක්‍ෂත්‍රිය රජ තෙමේ යුද්ධයකින් ජයගෙන දිනන ලද යුද්ධ ඇත්තේ, ඒ යුද්ධ භූමියට අධිපතිව වාසය කරයිද, මහණෙනි, මේ ඔටුණු පළන් ක්‍ෂත්‍රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු තුන්වැනි කාරණය වෙයි. මහණෙනි, මේ වනාහි ඔටුණු පළන් ක්‍ෂත්‍රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු කරුණු තුන වෙත්.
“මහණෙනි, එසේම භික්‍ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහි කළ යුතු මේ කරුණු තුනක් වෙත්.කවර තුනක්ද යත්. මහණෙනි. භික්ෂු තෙමේ යම් පෙදෙසක හිස රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවුයේද. මහණෙනි. මේ භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු පළමුවැනි කාරණය වෙයි.
“නැවතද මහණෙනි, භික්ෂු තෙමේ යම් පෙදෙසක මෙය දුකයයි තත්‍වාකාරයෙන් දැනගනීද, මෙය දුකට හේතුවයයි තත්‍වාකාරයෙන් දැනගනීද, මෙය දුක් නැතිකිරීමයයි තත්‍වාකාරයෙන් දැනගනීද, මෙය දුක් නැතිකිරීමේ මාර්‍ගයයයි තත්‍වාකායෛන් දැනගනීද, මහණෙනි, මේ භික්‍ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහි කළ යුතු දෙවැනි කාරණය වෙයි.
“නැවතද මහණෙනි, භික්‍ෂුතෙමේ යම් පෙදෙසක ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන්, ආශ්‍රව රහිත, අර්හත් ඵල සමාධියත්, අර්හත් ඵල ප්‍රඥාවත් තෙමේම විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට, අවබෝධකොට වාසය කරයිද, මහණෙනි, මේ භික්‍ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු තුන්වැනි කාරණය වෙයි. මහණෙනි, මේ භික්‍ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහිකටයුතු කරුණු තුන වෙත්.”
3. නිරාස සූත්‍රය
13. “මහණෙනි, ලෝකයෙහි පුද්ගලයෝ තුන්දෙනෙක් ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද? “අපෙක්‍ෂා රහිත පුද්ගලයාද, අපෙක්‍ෂා සහිත පුද්ගලයාද. අපෙක්‍ෂා පහකළ පුද්ගලයාද වෙත්.
“මහණෙනි, අපෙක්‍ෂා රහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් චණ්ඩාල කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ, කුළුපොතු කුලයෙහි හෝ, කම්කරු කුලයෙහි හෝ, පරමල් ඉවතලන කුලයෙහි හෝ දිළිඳුවූ, ස්වල්ප ආහාර පාන ඇති, දුක් පැවතුම් ඇති, යම් තැනෙක්හි දුකසේ කෑම ඇඳීම ලබයිද, එබඳු තැනෙක්හි උපන්නේ වෙයිද, හෙතෙම අවලක්‍ෂණවූයේ, අප්‍රිය දැකුම් ඇත්තේ, මිටි වූයේ, බොහෝ ආබාධ ඇත්තේ, කණෙක් හෝ, කුණෙක් හෝ, කොරෙක් හෝ, පක්‍ෂයක් පණ නැතියෙන් හෝ වූයේ ආහාර, පාන, වස්ත්‍ර, යානා, මල් ගඳ විලවුන්, සේනාසන, තෙල් පහන් නොලබන්නේ වෙයිද, හෙතෙම මෙනම් ක්‍ෂත්‍රිය තෙමේ ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂේක කරණ ලද්දේයයි අසන්නේය. එහෙත් ඔහුට මාද ක්‍ෂත්‍රියයෝ ක්‍ෂත්‍රියාභිෂේකයෙන් කවදා අභිෂෙක කරද්ද යන අපෙක්‍ෂාව (බලාපොරොත්තුව) ඇති නොවේ. මහණෙනි, මෙතෙම අපෙක්‍ෂා රහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, අපෙක්‍ෂා සහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඔටුණු පලන් ක්‍ෂත්‍රිය රජකුගේ අභිෂෙකයට සුදුසුවූ, සුදුසු වියට පැමිණියාවූ, අභිෂෙක නොකරණ ලද වැඩිමහලු පුතෙක් වෙයිද, හෙතෙම මෙනම් ක්‍ෂත්‍රිය තෙමේ ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක කරණ ලදැයි අසන්නේ වෙයිද, ඔහුට එසේ මාද ක්‍ෂත්‍රියයෝ ක්‍ෂත්‍රියාභිෂේකයෙන් කවදා අභිෂෙක කරද්දැයි සිතෙන්නේය. මහණෙනි, මේ තෙමේ අපෙක්‍ෂා සහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, පහවූ අපෙක්‍ෂා ඇති පුද්ගලයා නම් කවරේද? මේ ලෝකයෙහි අභිෂෙක කරණ ලද්දාවූ ක්‍ෂත්‍රිය රජෙක් වෙයිද, හෙතෙම මෙනම් ක්‍ෂත්‍රිය තෙමේ ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂේක කරණ ලද්දේයයි අසන්නේද. ඔහුට මෙසේ මාද ක්‍ෂත්‍රියයෝ ක්‍ෂත්‍රියාභිෂේකයෙන් කවදා අභිෂෙක කරන්නාහුදැයි නොසිතෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, පෙර අභිෂෙක නොකරණ ලද්දහුට යම් ආශාවක් වීද, ඔහුගේ ඒ ආශාව සංසිඳුනීය. මහණෙනි, මේ පුද්ගල තෙමේ පහකළ අපෙක්‍ෂා ඇති පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙන ලෝකයෙහි ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත්.