3. 1. 2. 5. පචෙතන සූත්‍රය
15. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මිගදායෙහි ඉසිපතනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට “මහණෙනි” යි අඬගා වදාළ සේක. ඒ භික්‍ෂූහු “ස්වාමීනි” යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
“මහණෙනි, පෙර පචෙතන නම් රජෙක් විය. මහණෙනි, එකල්හි ඒ පචෙතන රජතෙමේ රිය සාදන්නාට අඬගසා මෙසේ කීය. “යහළු රියකරුව, මාහට මෙයින් සමසකට පසු යුද්ධයක් ඇත්තේය. යහළු රියකරුව, මට අළුත් රථ චක්‍ර දෙකක් කිරීමට හැකිද?” යනුයි. මහණෙනි, “දේවයන් වහන්ස, හැක්කෙමි” යි රියකරු තෙමේ, පචෙතන රජහට උත්තර දුනි. “මහණෙනි, ඉක්බිති, රියකරු තෙමේ සදිනක් අඩු සමසකින් එක් චක්‍රයක් නිමවීය. ඉක්බිති පචෙතන රජතෙමේ රියකරු කැඳවීය. “යහළු රියකරුව, මෙයින් සදිනකට පසු මට යුද්ධයක් ඇත්තේය. අළුත් චක්‍ර දෙකක් නිමවීදැ” යි ඇසීය. “දේවයන් වහන්ස, මේ සදිනක් අඩු සමසින් එක් චක්‍රයක් නිමියේය” යි කීය. “යහළු රියකරුව, මාහට මේ සදවසින් දෙවැනි රියසක නිමවිය හැකිද?” “දේවයන් වහන්ස, හැක්කෙමි” යි රියකරුතෙම පචෙතන රජුට උත්තර දුනි. “මහණෙනි, ඉක්බිති රියකරු තෙමේ සදිනකින් දෙවැනි රිය සක නිමවා, අළුත් චක්‍ර දෙක ගෙන පචෙතන රජතෙමේ යම් තැනකද, එතැනට ගියේය. ගොස් පචෙතන රජහට, “දේවයන් වහන්ස, මේ නුඹ වහන්සේගේ අළුත් චක්‍ර දෙක නිමියේය” යි කීය. “යහළු රියකරුව, මේ සදිනක් අඩු සමසකින් නිමවනලද රියසකත්, සදිනකින් නිමවන ලද රියසකත් යන දෙකෙහි වෙනස කුමක්ද? මම වෙනසක් නොදැක්කෙමි” යි කීය. “දේවයන් වහන්ස, ඔවුන්ගේ වෙනසක් ඇත. දේවයන් වහන්සේ වෙනස බලනු මැනව” යි කීය.
“ඉක්බිති රියකරු තෙමේ යම් චක්‍රයක් සදිනකින් නිම කරණ ලද්දේද, එය පෙරලා හැරියේය. පෙරලා හරින ලද එය තල්ලු කළ වේගයෙන් යා යුතු තැන යම් පමණද, ඒතාක් ගොස් වැනී පොළොවෙහි වැටුනේය. යම් චක්‍රයක් සදිනක් අඩු සමසකින් නිමවීද, එය පෙරලා හැරියේය. පෙරලා හරින ලද එය තල්ලු කළ වේගයෙන් යා යුතු තැන යම් තැනැක්ද, එතැන දක්වා ගොස් අකුරෙහි (අලවංගුවෙහි) ගසනලද්දක් මෙන් සිටියේය.
“යහළු රියකරුව, යම් චක්‍රයක් සදවසකින් නිමවන ලද්දේද, පෙරලා හරින ලද්දාවූ එය තල්ලු කළ වේගය ඇතිතාක් ගොස් වැනී පොළොවෙහි වැටෙයි. ඊට හේතුව, කාරණය කුමක්ද? යහළු රියකරුව, යම් චක්‍රයක් සදිනක් අඩු සමසකින් නිමවනලදද, පෙරලා හරින ලද්දාවූ එය තල්ලු කළ වේගය ඇතිතාක් ගොස් අකුරෙහි ගසනලද්දාක් මෙන් සිටියි. ඊට හේතුව, කාරණය කිමදැ” යි ඇසීය. “දේවයන් වහන්ස, යම් චක්‍රයක් සදවසකින් නිම කරණ ලද්දේද, එහි පට්ටමත් ඇදය. දොස් සහිතය. එළය සහිතය. ගරාදිද ඇදය. දොස් සහිතය. එළය සහිතය. පට්ටමත් ඇද බැවින්, දොස් සහිත බැවින්, එළය සහිත බැවින්, ගරාදිද ඇද බැවින්, දොස් සහිත බැවින්, එළය සහිත බැවින්, බොස් ගෙඩියත් ඇද බැවින්, දොස් සහිත බැවින්, එළය සහිත බැවින්, පෙරළා යවන ලද එය වේගය ඇති තාක් ගොස් වැනී පොළොවෙහි වැටෙයි. දේවයන් වහන්ස, යම් චක්‍රයක් සදිනක් අඩු සමසකින් නිම කරණ ලද්දේද, එහි පට්ටමද නොඇදය, නිදොස්ය. එළයෙන් තොරය. ගරාදිද නොඇදය. නිදොස්ය. එළයෙන් තොරය. බොස් ගෙඩියද නොඇදය, නිදොස්ය, එළයෙන් තොරය. පට්ටමද නොඇද බැවින්, නිදොස් බැවින්, එළයෙන් තොර බැවින්, බොස් ගෙඩියද නොඇද බැවින්, නිදොස් බැවින්, එළයෙන් තොර බැවින්, පෙරළා හරින ලද එය වේගය ඇතිතාක් ගොස් අකුරෙහි ගසන ලද්දාක් මෙන් සිටියි.”
“මහණෙනි, තොප විසින් එකල්හි ඒ රියකරු තෙම අනිකෙකැයි සිතිය හැකිය. මහණෙනි, එසේ නොසිතිය යුතුය. එකල්හි ඒ රියකරු මම වීමි. මහණෙනි, මම එකල්හි ලීවල ඇදකුද දොස් වැරදි පිළිබඳ දක්‍ෂයෙක්මි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ මම දැන් වනාහි ශ්‍රාවකයන්ගේ කාය වඞ්ක, කාය දොස, කාය කසටයන් පිළිබඳ දක්‍ෂ වෙමි. වචී වඞ්ක, වචී දොස, වචී කසටයන් පිළිබඳ දක්‍ෂවෙමි. මනො වඞ්ක, මනො දොස, මනො කසටයන් පිළිබඳ දක්‍ෂ වෙමි.
“මහණෙනි, යම්කිසි භික්‍ෂුවක්හුගේ හෝ භික්‍ෂුණියකගේ හෝ කාය වඞ්ක, කාය දොස, කාය කසට පහනොවූයේද, වචී වඞ්ක, වචී දොස, වචී කසට පහනොවූයේද, මනො වඞ්ක, මනො දොස, මනො කසට පහනොවූයේද, මහණෙනි, ඔවුහු ඒ සදිනකින් නිම කරණ ලද චක්‍රය යම්සේද, එමෙන් මේ ධර්‍ම විනය සංඛ්‍යාත ශාසනයෙන් වැටෙන්නාහ.
“මහණෙනි, යම්කිසි භික්‍ෂුවක්හුගේ හෝ භික්‍ෂුණියකගේ හෝ කාය වඞ්ක, කාය දොස, කාය කසට පහවූයේද, වචී වඞ්ක, වචී දොස, වචී කසට පහවූයේද, මනො වඞ්ක, මනො දොස, මනො කසට පහවූයේද, මහණෙනි, ඔවුහු සදිනක් අඩු සමසකින් නිමවණ ලද ඒ චක්‍රය යම්සේද, එමෙන් මේ ධර්‍ම විනය සංඛ්‍යාත ශාසනයෙහි පිහිටියාහු වෙති.
“මහණෙනි, එහෙයින් කාය වංක, කාය දොස, කාය කසට පහකරන්නෙමු. වචී වංක, වචී දොස, වචී කසට පහකරන්නෙමු. මනො වංක, මනො දොස, මනො කසට පහකරන්නෙමුයි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය’ යි වදාළ සේක.
3. 1. 2. 6. අපණ්ණක පටිපදා සූත්‍රය
[සාවත්ථි නිදානයයි]
16. “මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ මහණ තෙමේ ඒකාන්ත ප්‍රතිපදාවට පිළිපන්නේ වේ. ඔහු විසින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස පවත්තා හේතුවද පටන් ගන්නා ලද්දේ වෙයි. කවර තුනකින්ද? “මහණෙනි, මේ සස්නෙහි මහණතෙම ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේද, භෝජනයෙහි පමණ දන්නේ වේද, නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණතෙම ඉන්‍ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් ඇසෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ ඇස සංවර කිරීම පිණිස පිළිපදියිද, චක්‍ෂුරෙන්‍ද්‍රිය රකීද, චක්‍ෂුරෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේද, “කණින් ශබ්දයක් අසා නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් කණෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ කණ සංවර කිරීම පිණිස පිළිපදියිද, සොතෙන්‍ද්‍රිය රකීද, සොතෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේද, “නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් නාසයෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ නාසය සංවර කිරීම පිණිස පිළිපදියිද, ඝාණෙන්‍ද්‍රිය රකීද, ඝාණෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේද, “දිවෙන් රසයක් දැන නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් දිවෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ දිව සංවර කිරීම පිණිස පිළිපදියිද, දිවෙන්‍ද්‍රිය රකීද, දිවෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේද, “කයින් ප්‍රශ්ටව්‍යයක් ස්පර්‍ශකොට නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් කයෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ කය සංවර කිරීම පිණිස පිළිපදියිද, කායෙන්‍ද්‍රිය රකීද, කායෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේද, “සිතින් ධර්‍මාරමුණක් දැන නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුව කින් සිතෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ සිත සංවර කිරීම පිණිස පිළිපදියිද, මනෙන්‍ද්‍රිය රකීද, මනෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේද, මහණෙනි, මෙසේ වනාහි ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි.