3. 1. 2. 6. අපණ්ණක පටිපදා සූත්රය
[සාවත්ථි නිදානයයි]
16. “මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ මහණ තෙමේ ඒකාන්ත ප්රතිපදාවට පිළිපන්නේ වේ. ඔහු විසින් ආශ්රවයන් ක්ෂය කිරීම පිණිස පවත්තා හේතුවද පටන් ගන්නා ලද්දේ වෙයි. කවර තුනකින්ද? “මහණෙනි, මේ සස්නෙහි මහණතෙම ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේද, භෝජනයෙහි පමණ දන්නේ වේද, නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණතෙම ඉන්ද්රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නොගන්නේද, අනුව්යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් ඇසෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ ඇස සංවර කිරීම පිණිස පිළිපදියිද, චක්ෂුරෙන්ද්රිය රකීද, චක්ෂුරෙන්ද්රියයෙහි සංවරයට පැමිණේද, “කණින් ශබ්දයක් අසා නිමිති වශයෙන් නොගන්නේද, අනුව්යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් කණෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ කණ සංවර කිරීම පිණිස පිළිපදියිද, සොතෙන්ද්රිය රකීද, සොතෙන්ද්රියයෙහි සංවරයට පැමිණේද, “නාසයෙන් ගන්ධයක් ආඝ්රාණය කොට නිමිති වශයෙන් නොගන්නේද, අනුව්යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් නාසයෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ නාසය සංවර කිරීම පිණිස පිළිපදියිද, ඝාණෙන්ද්රිය රකීද, ඝාණෙන්ද්රියයෙහි සංවරයට පැමිණේද, “දිවෙන් රසයක් දැන නිමිති වශයෙන් නොගන්නේද, අනුව්යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් දිවෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ දිව සංවර කිරීම පිණිස පිළිපදියිද, දිවෙන්ද්රිය රකීද, දිවෙන්ද්රියයෙහි සංවරයට පැමිණේද, “කයින් ප්රශ්ටව්යයක් ස්පර්ශකොට නිමිති වශයෙන් නොගන්නේද, අනුව්යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් කයෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ කය සංවර කිරීම පිණිස පිළිපදියිද, කායෙන්ද්රිය රකීද, කායෙන්ද්රියයෙහි සංවරයට පැමිණේද, “සිතින් ධර්මාරමුණක් දැන නිමිති වශයෙන් නොගන්නේද, අනුව්යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුව කින් සිතෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ සිත සංවර කිරීම පිණිස පිළිපදියිද, මනෙන්ද්රිය රකීද, මනෙන්ද්රියයෙහි සංවරයට පැමිණේද, මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණතෙම භෝජනයෙහි පමණ දන්නේ වේද, මහණෙනි, මහණතෙම නුවණින් මෙනෙහිකොට ආහාර වළඳන්නේය. කෙසේද? ක්රීඩා පිණිසද නොවේමය, මද වැඩීම පිණිසද නොවේමය, අඩුතැන් පිරවීම පිණිසද නොවේමය, සැරසීම පිණිසද නොවේමය, මේ ශරීරයාගේ පැවැත්ම, යැපීම පිණිසම, පීඩා දුරුකර ගැනීම පිණිස, බ්රහ්මචර්ය්යාවට උපකාර පිණිසම වළඳමි. මෙසේ ආහාර වැළඳීමෙන් පුරාණ වේදනාද ඉවසමි. අලුත් වේදනාද නොඋපදවන්නෙමි. නිවරද බවද, සැප විහරණයද වන්නෙමි. යනුවෙනි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම භෝජනයෙහි පමණ දන්නේ වේ.
“මහණෙනි, කෙසේ නම් මහණතෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම දවල් කාලයෙහි සක්මන් කිරීමෙන්ද, හිඳීමෙන්ද, පඤ්ච නීවරණ ධර්මයන් ගෙන් සිත පිරිසිදු කරයි. රාත්රියෙහි පළමුවෙනි යාමයෙහි සක්මන් කිරීමෙන්ද, හිඳීමෙන්ද, පඤ්ච නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්රියෙහි මධ්යම යාමයෙහි දකුණැලයෙන්, පාදයෙහි පාදය මඳක් ඉක්මවා තබා, සිහි නුවණින් යුක්තව, නැගිටිමි යන සංඥාව මෙනෙහිකොට, උතුම්වූ සයනය කරයිද, රාත්රියෙහි පශ්චිම යාමයෙහි නැගිට, සක්මන් කිරීමෙන්ද, හිඳීමෙන්ද, පඤ්ච නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. “මහණෙනි, මෙසේ වනාහි මහණතෙම නිදි දුරුකිරීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්තවූ මහණතෙම ඒකාන්ත ප්රතිපදාවට පිළිපන්නේ වේ. ඔහු විසින් ආශ්රවයන් ක්ෂය කිරීම පිණිස පවත්නා කාරණයද පටන් ගන්නා ලද්දේ වෙයි.”
3. 1. 2. 7. ව්යාබාධ සංවත්තන සූත්රය
17. “මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙනෙක් තමහට දුක් පිණිසද පවතිත්. අනුන්හට දුක් පිණිසද පවතිත්. තමන් අනුන් යන දෙදෙනාටම දුක් පිණිසද පවතිත්. කවර තුන් දෙනෙක්ද යත්. කාය දුෂ්චරිතය, වාක් දුශ්චරිතය, මනො දුශ්චරිතය යන මොහුයි. මහණෙනි, මේ ධර්මයෝ තුන් දෙන තමාට දුක් පිණිසද, අනුන්ට දුක් පිණිසද, දෙදෙනාටම දුක් පිණිසද පවතිත්.
“මහණෙනි, මේ ධර්මයෝ තිදෙනෙක් තමන්ට දුක් නොපණිසද, අනුන්ට දුක් නොපිණිසද, දෙදෙනාටම දුක් නොපිණිසද පවත්නාහුය. කවර තුනක්ද? කාය සුචරිතයද, වාක් සුචරිතයද, මනො සුචරිතයද වෙත්. මහණෙනි, මේ ධර්මයෝ තිදෙන තමන් දුක් නොපිණිසද, අනුන්ට දුක් නොපිණිසද, දෙදෙනාට දුක් නොපිණිසද පවතිත්.”
3. 1. 2. 8. දෙවලොකුප්පත්ති සූත්රය
18. “මහණෙනි, ඉදින් වනාහි අන්යතීර්ත්ථක පරිබ්රාජකයෝ, ‘ඇවැත්නි, දෙව්ලොව ඉපදීම පිණිස ශ්රමණ ගෞතමයන් කෙරෙහි බ්රහ්මචර්ය්යාවෙහි හැසිරෙන්නහුදැයි අසන්නාහු නම්, මෙසේ අසන ලද්දාවූ තෙපි හැකිලෙන්නාහු නොවෙත්ද, ලජ්ජාවන්නාහු නොවෙත්ද, පිළිකුල් කරන්නාහු නොවෙත්ද. “ස්වාමීනි, එසේය”. මහණෙනි, මෙසේ වනාහි තෙපි දිව්ය ආයුෂට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්ය වර්ණයට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්ය සැපට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්ය යසසට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්ය අධිපති බවට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, මහණෙනි, පළමුකොට වනාහි තොප විසින් කාය දුෂ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි. වාක් දුශ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි. මනො දුශ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි.”