4. අරාජක චක්ක සූත්‍රය
14. “මහණෙනි, ධර්‍මයෙන් යුක්තවු, ධර්‍මයෙන් රජ කරන්නාවූ, යම් සක්විති රජෙක් වේද, හෙතෙම රජකු නැතිව අණසක නොපවත්නේයයි වදාළේය. “මෙසේ වදාළ කල්හි, එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ධර්‍මයෙන් යුත්, ධර්‍මයෙන් රජ කරන්නාවූ, සක්විති රජහුගේ රජ නම් කවරෙක්දැ?” යි කීය. “මහණ, (දශකුශල) ධර්‍මයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “මහණ, ධර්‍මයෙන් යුත්, ධර්‍මයෙන් රජ කරන්නාවූ, සක්විති රජතෙමේ, දශ කුශල ධර්‍මය ඇසුරුකොට ධර්‍මයට සත්කාර කරමින්, ධර්‍මයට ගරු කරමින්, ධර්‍මයට පුදමින්, ධර්‍මය ද්වජයක් කොට ගෙන, ධර්‍මය කොඩියක් කොට ගෙන, ධර්‍මය අධිපති කොට ගෙන, අභ්‍යන්තර ජනයාගේ රැකවරණ පරිස්සම් සලසාලයි.
“මහණ, නැවතද ධාර්මිකවූ, ධර්‍මයෙන් රජ කරන්නාවූ, සක්විති රජතෙමේ, ධර්‍මයම ඇසුරුකොට, ධර්‍මයට සත්කාර කරමින්, ධර්‍මයට ගරු කරමින්, ධර්‍මයට පුදමින්, ධර්‍මය ද්වජයක් කොට ගෙන, ධර්‍මය කොඩියක් කොට ගෙන, ධර්‍මය අධිපති කොට ගෙන, රාජකාර්‍ය්‍යයන්හි නියුක්ත ක්‍ෂත්‍රියයන් කෙරෙහිද, බලසෙනග කෙරෙහිද, බ්‍රාහ්මණ ගෘහපතීන් කෙරෙහිද, නියම්ගම් ජනපද වාසීන් කෙරෙහිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහිද, මෘග පක්‍ෂීන් කෙරෙහිද රැකවරණ පරිස්සම සලසාලයි. “මහණ, ධාර්මිකවූ, ධර්‍මයෙන් රජ කරන්නාවූ, ඒ සක්විති රජතෙමේ, ධර්‍මයම ඇසුරුකරමින්, ධර්‍මයට සත්කාර කරමින්, ධර්‍මයට ගරු කරමින්, ධර්‍මයට පුදමින්, ධර්‍මය ධජයක් කොට ගෙන, ධර්‍මය කොඩියක් කොට ගෙන, ධර්‍මය අධිපති කොට ගෙන, අභ්‍යන්තර ජනයා කෙරෙහි ධාර්මික රැකවරණ පරිස්සම සලසා රාජකාර්‍ය්‍යයන්හි නියුක්ත ක්‍ෂත්‍රියයන් කෙරෙහි රැකවරණ පරිස්සම සලස්වා, බල සෙනග කෙරෙහි, බ්‍රාහ්මණ ගෘහපතීන් කෙරෙහි, නියම්ගම් ජනපද වාසීන් කෙරෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි, මෘග පක්‍ෂීන් කෙරෙහි රැකවරණ පරිස්සම සලස්වා ධර්‍මයෙන්ම අණසක පවත්වයි. ඒ අණසක මනුෂ්‍යවූ, පරසතුරු කිසි ප්‍රාණියකු විසින් නොවැලැක්විය හැකි වෙයි.
“මහණ, එමෙන්ම ධර්‍මයෙන් යුක්තවූ, ධර්‍මරාජවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, තථාගත තෙමේ, ධර්‍මයම (නවලොකොත්තර ධර්‍මයම) ඇසුරුකොට ධර්‍මයට සත්කාර කරමින්, ධර්‍මයට ගරු කරමින්, ධර්‍මයට පුදමින්, ධර්‍මය ධජයක් කොට ගෙන, ධර්‍මය කොඩියක් කොට ගෙන, ධර්‍මය අධිපති කොට ගෙන, කාය කර්‍මයෙහි රැකවරණ පරිස්සම සලසන්නේය. කෙසේද? මෙබඳුවූ කාය කර්‍ම සේවනය කළයුතුය. මෙබඳුවූ කාය කර්‍ම සේවනය නොකළයුතුය කියායි.
“නැවතද, මහණ, ධාර්මිකවූ ධර්මයට ගරු කරමින්, ධර්‍මයට පුදමින්, ධර්‍මය ධජයක් කොට ගෙන, ධර්‍මය කොඩියක් කොට ගෙන, ධර්‍මය අධිපති කොට ගෙන, වාක් කර්‍මයෙහි රැකවරණ පරිස්සම සලසන්නේය. කෙසේද? මෙවැනි වාක් කර්‍ම සේවනය කළයුතුය. මෙවැනි වාක් කර්‍ම සේවනය නොකළයුතුය යනුවෙනි. “නැවතද, මහණ, ධාර්මිකවූ ධර්මයට ගරු කරමින්, ධර්‍මයට පුදමින්, ධර්‍මය ධජයක් කොට ගෙන, ධර්‍මය කොඩියක් කොට ගෙන, ධර්‍මය අධිපති කොට ගෙන, මනො කර්‍මයෙහි රැකවරණ පරිස්සම සලසන්නේය. කෙසේද? මෙවැනිවූ මනො කර්‍ම සේවනය කළයුතුය. මෙවැනිවූ මනො කර්‍ම සේවනය නොකළයුතුය යනුවෙනි.
“මහණ, ඒ ධාර්මිකවූ ධර්මයට ගරු කරමින්, ධර්මයට පුදමින්, ධර්මය ධජයක් කොට ගෙන, ධර්මය කොඩියක් කොට ගෙන, ධර්මය අධිපති කොට ගෙන, ධර්මයම ඇසුරු කරමින්, ධර්මයට ගරු කරමින්, ධර්මයට පුදමින්, ධර්මය ධජයක් කොට ගෙන, ධර්මය කොඩියක් කොට තෙන, ධර්මය අධිපති කොට ගෙන, කාය කර්මයෙහි ධාර්මික රැකවරණ පරිස්සම සලස්වා, වාක් කර්මයෙහි, කාය කර්මයෙහි, මනො කර්මයෙහි රැකවරණ පරිස්සම සලස්වා, ධර්මයෙන්ම නිරුත්තර ධර්ම චක්‍රය පවත්වන්නේය. ඒ ධර්ම චක්‍රය ශ්‍රමණයකු විසින් හෝ, බ්‍රාහ්මණයකු විසින් හෝ, දෙවියකු විසින් හෝ, බඹකු විසින් හෝ, ලෝකයෙහි කිසිවකු විසින් හෝ වැළැක්විය නොහැක්කේය.”