3. නිරාස සූත්‍රය
13. “මහණෙනි, ලෝකයෙහි පුද්ගලයෝ තුන්දෙනෙක් ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද? “අපෙක්‍ෂා රහිත පුද්ගලයාද, අපෙක්‍ෂා සහිත පුද්ගලයාද. අපෙක්‍ෂා පහකළ පුද්ගලයාද වෙත්.
“මහණෙනි, අපෙක්‍ෂා රහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් චණ්ඩාල කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ, කුළුපොතු කුලයෙහි හෝ, කම්කරු කුලයෙහි හෝ, පරමල් ඉවතලන කුලයෙහි හෝ දිළිඳුවූ, ස්වල්ප ආහාර පාන ඇති, දුක් පැවතුම් ඇති, යම් තැනෙක්හි දුකසේ කෑම ඇඳීම ලබයිද, එබඳු තැනෙක්හි උපන්නේ වෙයිද, හෙතෙම අවලක්‍ෂණවූයේ, අප්‍රිය දැකුම් ඇත්තේ, මිටි වූයේ, බොහෝ ආබාධ ඇත්තේ, කණෙක් හෝ, කුණෙක් හෝ, කොරෙක් හෝ, පක්‍ෂයක් පණ නැතියෙන් හෝ වූයේ ආහාර, පාන, වස්ත්‍ර, යානා, මල් ගඳ විලවුන්, සේනාසන, තෙල් පහන් නොලබන්නේ වෙයිද, හෙතෙම මෙනම් ක්‍ෂත්‍රිය තෙමේ ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂේක කරණ ලද්දේයයි අසන්නේය. එහෙත් ඔහුට මාද ක්‍ෂත්‍රියයෝ ක්‍ෂත්‍රියාභිෂේකයෙන් කවදා අභිෂෙක කරද්ද යන අපෙක්‍ෂාව (බලාපොරොත්තුව) ඇති නොවේ. මහණෙනි, මෙතෙම අපෙක්‍ෂා රහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, අපෙක්‍ෂා සහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඔටුණු පලන් ක්‍ෂත්‍රිය රජකුගේ අභිෂෙකයට සුදුසුවූ, සුදුසු වියට පැමිණියාවූ, අභිෂෙක නොකරණ ලද වැඩිමහලු පුතෙක් වෙයිද, හෙතෙම මෙනම් ක්‍ෂත්‍රිය තෙමේ ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක කරණ ලදැයි අසන්නේ වෙයිද, ඔහුට එසේ මාද ක්‍ෂත්‍රියයෝ ක්‍ෂත්‍රියාභිෂේකයෙන් කවදා අභිෂෙක කරද්දැයි සිතෙන්නේය. මහණෙනි, මේ තෙමේ අපෙක්‍ෂා සහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, පහවූ අපෙක්‍ෂා ඇති පුද්ගලයා නම් කවරේද? මේ ලෝකයෙහි අභිෂෙක කරණ ලද්දාවූ ක්‍ෂත්‍රිය රජෙක් වෙයිද, හෙතෙම මෙනම් ක්‍ෂත්‍රිය තෙමේ ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂේක කරණ ලද්දේයයි අසන්නේද. ඔහුට මෙසේ මාද ක්‍ෂත්‍රියයෝ ක්‍ෂත්‍රියාභිෂේකයෙන් කවදා අභිෂෙක කරන්නාහුදැයි නොසිතෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, පෙර අභිෂෙක නොකරණ ලද්දහුට යම් ආශාවක් වීද, ඔහුගේ ඒ ආශාව සංසිඳුනීය. මහණෙනි, මේ පුද්ගල තෙමේ පහකළ අපෙක්‍ෂා ඇති පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙන ලෝකයෙහි ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත්.
“මහණෙනි, එසේම භික්‍ෂූන් අතරෙහි පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද? අපෙක්‍ෂා රහිත පුද්ගලයාද, අපෙක්‍ෂා සහිත පුද්ගලයාද. අපෙක්‍ෂා පහකළ පුද්ගලයාද වෙත්.
“මහණෙනි, අපෙක්‍ෂා රහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයිද, පාපධර්‍ම ඇත්තේ වෙයිද, අපිරිසිදු කාය කර්‍මාදිය ඇත්තේ වෙයිද, සැක කළ යුතු පැවතුම් ඇත්තේ වෙයිද, සැඟවුනු ක්‍රියා ඇත්තේ වෙයිද, ශ්‍රමණයෙකැයි අඟවන්නාවූ අශ්‍රමණයෙක් වෙයිද, බ්‍රහ්මචාරියෙකැයි අඟවන්නාවූ අබ්‍රහ්මචාරියෙක් වෙයිද, ඇතුලත කුණුවූයේ වෙයිද, රාගාදියෙන් තෙත්වූයේ වෙයිද, හටගත් රාගාදී කුණු කසල ඇත්තේද, හෙතෙමේ, මෙනම් භික්‍ෂුතෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව තෙමේ මේ ආත්මයෙහිම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කෙරේයයි අසන්නේද, ඔහුට කවදා නම් මමද ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට ඊට එළඹ වාසය කරන්නෙම්ද යන අපේක්‍ෂාව නූපදින්නේය. මහණෙනි, මෙතෙමේ අපේක්‍ෂා රහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, අපෙක්‍ෂා සහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ සිල්වත් වේද, යහපත් ධර්‍ම ඇත්තේ වේද, හෙතෙමේ, මෙනම් භික්‍ෂුව ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව තෙමේ මේ ආත්මයෙහිම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නෙම්දැයි අදහස් වන්නේය මහණෙනි, මෙතෙමේ අපේක්‍ෂා සහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, පහවූ අපෙක්‍ෂා ඇති පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ආශ්‍රවයන් ක්‍ෂය කළ රහත් පුද්ගලයෙක් වෙයිද, හෙතෙමේ මෙනම් භික්‍ෂුව ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව තෙමේ මේ ආත්මයෙහිම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට, ඊට පැමිණ වාසය කරන්නේයයි අසන්නේය. ඔහුට මම කවදා ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව තෙමේ මේ ආත්මයෙහිම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නෙමි’ යි අදහස් නොවන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, රහත් නොවූ ඔහුට රහත් වීමට යම් අපේක්‍ෂාවක් වීද, ඔහුගේ ඒ අපේක්‍ෂාව සංසිඳුනී වෙයි. මහණෙනි, මෙතෙමේ පහවූ අපේක්‍ෂා ඇති පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මේ භික්‍ෂූන් අතරෙහි ඇත්තාවූ, විද්‍යමානවූ පුද්ගලයෝ තිදෙන වෙත්.”
4. අරාජක චක්ක සූත්‍රය
14. “මහණෙනි, ධර්‍මයෙන් යුක්තවු, ධර්‍මයෙන් රජ කරන්නාවූ, යම් සක්විති රජෙක් වේද, හෙතෙම රජකු නැතිව අණසක නොපවත්නේයයි වදාළේය. “මෙසේ වදාළ කල්හි, එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ධර්‍මයෙන් යුත්, ධර්‍මයෙන් රජ කරන්නාවූ, සක්විති රජහුගේ රජ නම් කවරෙක්දැ?” යි කීය. “මහණ, (දශකුශල) ධර්‍මයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “මහණ, ධර්‍මයෙන් යුත්, ධර්‍මයෙන් රජ කරන්නාවූ, සක්විති රජතෙමේ, දශ කුශල ධර්‍මය ඇසුරුකොට ධර්‍මයට සත්කාර කරමින්, ධර්‍මයට ගරු කරමින්, ධර්‍මයට පුදමින්, ධර්‍මය ද්වජයක් කොට ගෙන, ධර්‍මය කොඩියක් කොට ගෙන, ධර්‍මය අධිපති කොට ගෙන, අභ්‍යන්තර ජනයාගේ රැකවරණ පරිස්සම් සලසාලයි.